අයවැය පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ විනිවිදභාවය වසර 2ක් ඇතුළත පිට පිටම පහළට – පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න

    October, 31, 2023

    ප්‍රගතිය නොදන්නා පොරොන්දු ප්‍රතිශතය 45% සිට 70% දක්වා ඉහළට

    - ‘අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට’ වේදිකාව කියයි

    අයවැය කතාවල පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ විනිවිදභාවය 2022 සහ 2023 දී විශාල ලෙස පහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකර ඇති විමර්ෂණයකින් අනාවරණයව ඇත.

    2017-2021 කාලය තුළ ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකි වූ අයවැය පොරොන්දු සාමාන්‍ය ප්‍රතිශතය 45% වූ අතර මෙය 2022-2023 වන විට 70% දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් අදහස් වන්නේ රජය තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කර නොමැතිවා මෙන්ම එම තොරතුරු දැනගැනීමට යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීම්වලට ප්රතිචාර දැක්වීමක් ද කර නැති බවය.

    2017 වසරේ සිට මුදල් අමාත්‍යවරුන් විසින් ලබා දුන් ඉහළ වටිනාකමකින් යුත් අයවැය පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන “අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට” නම් අන්තර්ජාල වේදිකාව  මෙම සොයාගැනීම් සහ නීරීක්ෂණ වාර්තා  කර ඇත. මෙම වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයයි.

    ජනතා මුදල් යෙදවෙන අයවැය පොරොන්දු ඉටුවන ප්‍රගතිය ගැන තොරතුරු ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව අසමත්වීම සෑම වසරකම පාහේ පවතින ගැටලුවකි. කෙසේවෙතත් මෙම තත්ත්වය 2022 – 2023 වසරවල සැළකිය යුතු ඉහළ ගොස් ඇති බව හඳුනාගත හැකි ය.

    2023 - වසර මැද සමාලෝචනය

    2023 අයවැය කතාවේ සඳහන් වූ ඉහළම මුදලක් වෙන් කෙරුනු පොරොන්දු 25ක් අතරින් 68%කම ප්‍රගතිය, තොරතුරුවල හිඟය නිසා ඇගයීමට ලක් කිරීමේ හැකියාවක් නොතිබිණ.

    පොරොන්දුවලින් 32%ක ප්‍රගතිය තක්සේරු කිරීමට තොරතුරු තිබුණු මුත්, සතුටුදායක ප්‍රගතියක් ලබාගෙන ඇත්තේ 8%ක් පමණකි. 24%ක ප්‍රගතිය පැවතුණේ මන්දගාමී මට්ටමක ය.

    ඉහත සදහන් කෙරුණු අයවැය පොරොන්දු 25ට වෙන්කර ඇති මුළු මුදලේ වටිනාකම රුපියල් බිලියන 49.5ක් වේ. තොරතුරු නොමැතිකම නිසා ප්‍රගතිය ඇගයීමට ලක්කළ නොහැකි පොරොන්දු මෙම මුදලින් 97%ක ප්‍රතිශතයකට වග කියන අතර, එය මුදලින් රුපියල් බිලියන 47.7කි.

    මූල්‍ය විනිවිදභාවය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)

    මූල්‍ය කටයුතුවල විනිවිදභාවයක් නොමැති වීම ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදයට මෙන්ම ආණ්ඩුව කෙරෙහි දේශීය මට්ටමින් පමණක් නොව විදේශීය මට්ටමින් ද, විශ්වාසය බිද වැටීමට ප්‍රධාන හේතුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කර ගත් ගිවිසුමේ දී රජය එකඟවූ කැපවීම් කිහිපයක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී පළකළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණ විමර්ෂණ වාර්තාවෙන් සිදුකර ඇති නිර්දේශ කිහිපයක්, මූල්‍ය විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ වැදගත්කම තවදුරටත් ඉස්මතු කරයි.

    2024   අයවැය කතාව නොවැම්බර් 13 වන දින පැවැත්වීමට නියමිතය. අයවැය පොරොන්දුවල ප්‍රගතිය පිළිබඳ වැඩි විනිවිදභාවයක් සහ වගවීමක් ඇති කරගැනීම අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති ගැටලු විසඳීමට උපකාරී වනු ඇත. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට වර්තමානයේ ගැනෙමින් පවතින උත්සාහයන් වඩාත් තිරසාර හා සුරක්ෂිත කරනු ඇත.

    නිරීක්ෂණය කරන ලද පොරොන්දු, වගකිව යුතු ආයතන සහ වෙනත් සොයාගැනීම් පිළිබඳ තොරතුරු සඳහා කරුණාකර https://dashboards.publicfinance.lk/budget-promises/ වෙත පිවිසෙන්න.