25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල නොවැම්බර් 23 BMICH හිදී

    November, 22, 2023

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2023 නොවැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ගරු ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි.  මෙම  සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයන කරුවන් ඇගයීමයි. 

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 24ක් සංවිධානය කොට  ඇත.  25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා ගරු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මෙන්ම සම්මානලාභීන් ඇතුළු අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.

    2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක් සහ නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර  කුසලතා සම්මාන පිරිනැමේ. සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.

    25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතාගේ අධීක්ෂණය  සහ ආයෝජන ප්‍රවර්ධන ගරු  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් නයිමුදීන් මහතාගේ උපදෙස් හා  මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.