March, 16, 2016
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට පාසල් රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා අඛණ්ඩව 13 වන වරටත් 2016 පාසැල් රග්බි ශූරතාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය දක්වයි.ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය, මෙම ශූරතාවලිය සංවිධානය කරයි.
2016 වසරේ 19 න් පහළ රග්බි ලීග් ශූරතාවලිය කාණ්ඩ 3ක පාසල් 69 ක් අතර පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ලීග් ශූරතාවලිය තරඟ 226 කින් සමන්විත වෙයි. කාණ්ඩ අංක 1 අනු කාණ්ඩ 6කින් පැවැත්වීමට නියමිත අතර කණ්ඩායම් 6 බැගින් ඊට සහභාගි වීමට නියමිතය. කාණ්ඩ අංක 2 අනු කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර ඊට කණ්ඩායම් 22 ක් සහභාගි වීමට නියමිතයි කාණ්ඩ අංක 3 කණ්ඩායම් 11 ක් අතර අනු කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙයි. කාණ්ඩ 3න් ඔබ්බට මෙම කණ්ඩායම් කුසලාන, පළඟ, බඳුන සහ පළිහ සඳහා තරඟ වැදීමට නියමිතය.
සිංගර් ශ්‍රී ලංකා සෑම මට්ටමකම රග්බි තරඟ සඳහා අනුග්රාකත්වය දැක්වීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ. ප්රමුඛ රග්බි තරඟාවලියක් වන බ්‍රැඩ්බි කුසලාන තරඟය සඳහා සිංගර් වසර 26ක් පුරා අනුග්‍රාහකත්වය දක්වයි. එමෙන්ම මෙරට ප්‍රධානතම රග්බි කණ්ඩායමක් වන මහනුවර ක්‍රීඩා සමාජය සඳහා වසර 13ක් පුරා අනුග්‍රාහකත්වය දක්වන්නේ ද සිංගර් සමාගමයි. එමෙන්ම මෙරට රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ කාර්යයට ද සිංගර් උරදී කටයුතු කරයි.විශේෂයෙන් කණ්ඩායම් සංවර්ධනය සඳහා දිගුකාලීන වැඩපිළිවෙල රැසකට ද සිංගර් සහයෝගය දක්වා තිබේ. තවද රග්බි ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ කාර්යයට ද සිංගර් දායක වී තිබේ. නිත්තවෙල ක්‍රීඩාංගනයට ලකුණු පුවරුවක් ලබාදීම, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ සහ පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේ රග්බි ක්රීඩාගාර ඉදිකිරීම, වැනි කාර්යයන් සඳහා ද සිංගර් දිරි බලය ලබාදී තිබේ.
මෙවර අන්තර් පාසල් රග්බි ශුරතාවලිය සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමීමේ අවස්ථාවට එක්වු සිංගර් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ මෙවර ද අන්තර් පාසල් රග්බි ලීග් ශුරතාවලියට සහයෝගය ලබාදීමට අවස්ථාව හිමිවීම පිලිබඳව සතුටට පත්වන බවයි. මෙරට තාරුණ්‍යය ක්‍රීඩාවෙන් සවිබලගැන්වීමේ අරමුණින් සිංගර් නිරතුරුවම කටයුතු කරන බවත් , ක්‍රීඩාව මඟින් විනය, ගෞරවය, සහ කණ්ඩායම් හැඟීම තරුණ පරපුර අතර ඇතිවන නිසා මෙය ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සිංගර් ශ්‍රී ලංකා තරඟ නිලධාරීන්, පාසල් පුහුණකරුවන්, සහ ක්‍රීඩකයින් සඳහා විදේශිය ප්රවිණයන් ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩමුළු සංවිධානය කරමින් රග්බි ක්‍රීඩාව නැංවීමට කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මීට පෙර ද Asiad කණිෂ්ඨ රග්බි තරඟාවලිය වැනි ජාත්‍යන්තර මට්ටමේ රග්බි තරඟාවලි සඳහා ක්‍රීඩකයින් සහභාගි කරවමින් ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීම සඳහා සිංගර් පහසුකම් සලසා ඇති බව ද හෙතෙම කීය.
මෙම අවස්ථාව ඇමතූ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රෙස්කර මහතා පැවසුවේ සිංගර් ශ්‍රී ලංකා මෙරට ක්‍රීඩාව නැංවීමේ ක්‍රියාවලියේදී කැපී පෙනෙන ආයතනයක් බවයි. පසුගිය වසර 12 පුරා අන්තර් පාසල් රග්බි ලීග් තරඟාවලියට අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා වෙත ස්තුතිවන්ත වන බව ද ඒ මහතා සඳහන් කළේය. රග්බි ක්‍රීඩාව නැංවීමේ සිංගර් දායකත්වය නිසාම මේ වනවිට මෙරට දුෂ්කර පළාත් වල ද රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ කටයුත්ත සාර්ථකව සිදුවෙමින් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
රග්බි ක්‍රීඩාව පමණක් නොව, සමස්තයක් ලෙස මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා සිංගර් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි. ගතවු වසර 20ක පමණ කාලය පුරා පාසල් ක්‍රීඩාව නැංවීම සඳහා වැඩපිළිවෙල රැසක් සිංගර් විසින් දියත් කර තිබේ. මේ නිසාම ආධුනික ක්‍රීඩකයින්ට අවශ්‍ය ජාත්‍යන්තර හෝ ජාතික යනාදී ඕනෑම අංශයකින් ඉදිරියට ඒමට අවශ්‍ය පසුබිම සිංගර් වෙතින් සකසා තිබේ.
Video Story