රු. 50,000 ක දඩයක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    November, 29, 2023

    වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    පවතින දේශීය ආදායම් නීතිය අනුව තක්සේරු වර්ෂ 2022/2023, එනම් 2022 අප්රේල් 01 දා සිට 2023 මාර්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ. එසේ අදාල දිනට භාර නොදෙන බදු ලිපිගොනු පවත්වා ගෙන යන තැනැත්තන්ට රුපියල් 50,000 දඩයක් සහ ගෙවිය යුතු බදු මුදලින් සියයට 5 ක දඩ මුදලක් පැනවෙන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
    ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සංවිධානය කරන ලද, වාර්ෂික ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීම සහ මාර්ගගත (Online) ක්රමයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම් පිලිබඳ වැඩමුළුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය දා (27) පැවැත්වුණු අවස්ථාවේ අදහස් දක්වමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව සඳහන් කළහ.
    ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණි වලේබොඩ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට රාජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ගණනාවක් සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් දැනුවත් කිරීම් සඳහා ජේෂ්ඨ කොමසාරිස් සුජීව සේනාධීර, ජේෂ්ඨ නියෝජ්ය කොමසාරිස් නන්දන කුමාර සහ ජේෂ්ඨ නියෝජ්ය කොමසාරිස් එම්.එච්.ඩී. මෙනේරිපිටිය යන මහත්වරු සහභාගී වූහ. මෙහිදී, වර්තමානයේ පවතින දේශීය අදායම් බදු නීතිය අනුව අදායම් වාර්තා ලබාදීම සහ එම වාර්තා ලබා නොදීම නිසා පැන නැගිය හැකි තත්ත්වයන් පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කෙරිණි.
    ඒ අනුව, මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරයන් වෙනුවෙන් ආදායම් බදු ලිපිගොනු විවෘත කර ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ බදු වාර්තාව සම්පූර්ණ කර මාර්ගගත (Online) ක්රමයට දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඉදිරිපත් කිරීම පිළිබඳව ප්රයෝගික පැහැදිලිකිරීම් සිදුකරන ලද අතර, එහිදී ඇතිවෙන ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නිලධාරීන්ගෙන් විමසීම් කිරීම්ද සිදුවිය.