2016 පෙබරවාරියේ දී උද්ධමනය 1.7% දක්වා ඉහළට

    March, 22, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජනවාරි මාසයේ දී වාර්තා කළ -0.7% සිට 2016 පෙබරවාරි මාසයේ දී 1.7 දක්වා ඉහළ ගොස් තිබේ.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි සමස්ත මිල පහළ යාම ඉක්මවා යමින් මධ්‍යසාර පාන වර්ග හා දුම්කොළ, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය, ප්‍රවාහන, සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩයන් හි දක්නට ලැබුණු සැලකිය යුතු මිල ගණන් ඉහළ යාම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩය ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් දායක විය.

    මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 ජනවාරි මස වාර්තා වූ 2.9% සිට 2016 පෙබරවාරි මස දී 2.6% දක්වා පහළ ගියේය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට එම දර්ශකය 2016 ජනවාරි සිට 2016 පෙබරවාරි දක්වා 1.1% කින් පහළ ගියේය.