වටවල වැවිලි සමාගමෙන් දේශීය කිරි කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක්

    March, 25, 2016

    මෙරට විශාලතම පළාත්බද වැවිලි සමාගම වන සන්ෂයින් සමූහයට අයත් වටවල වැවිලි සමාගම, ඇමරිකානු ඩොලර් මිලියන 11.5 කින් යුතු ආයෝජනයක් හරහා දේශීය කිරි කර්මාන්තයට යොමුවන බව ප්‍රකාශ කර සිටී.

    මෙම ආයෝජනයේ බහුතර දායකත්වය වටවල වැවිලි සමාගම විසින් දරනු ලබන අතර එය ඩොලර් මිලියන 4.3 කි.

    මීට අමතරව සිංගප්පූරුව පදනම් කරගත් අන්තර්ජාතික වත්කම් කළමනාකරණ ආයතනයක් වන Duxton Asset Management විසින් සෘජු විදේශීය ආයෝජනයක් ලෙසින් ඩොලර් මිලියන 3 ක් මේ සඳහා ආයෝජනය කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට ලැබෙන පළමු සෘජු විදෙස් ආයෝජනය ලෙසින් ද වාර්තා වේ.

    Duxton Asset Management විසින් මේ වන විට කළමනාකරණය කරනු ලබන සම්පූර්ණ වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 690 ක් වන අතර එයින් ඩොලර් මිලියන 460 කම ආයෝජන ඇත්තේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළයි.

    මෙම නව ආයෝජනයත් සමඟම Watawala Dairy විසින් කිරි එළදෙනුන් 1,000 ක් යටතේ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට යෝජිත අතර සිව්වන වර්ෂයේ දී රුපියල් බිලියනයක ආදායමක් එයින් ලබා ගැනීමට පුරෝකථනය කර තිබේ.

    මේ වන විට Watawala Dairy සමාගම, කිරි එළදෙනුන් 75 ක ගෙන් සමන්විත කුඩා ගොවිපළක් පවත්වාගෙන යනු ලබන අතර වාර්ෂිකව රුපියල් මිලියන 30 ක පමණ විකුණුම් ආදායම් එයින් උපයනු ලබයි.


    මේ සඳහා වන ආයෝජන මණ්ඩල ගිවිසුම සඳහා අත්සන් තැබීමේ අවස්ථාවට එක් වූ (වමේ සිට) Duxton Asset Management ප්‍රධාන ආයෝජන නිලධාරී Desmond Sheehy, සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි හා ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහත්වරුන්