ජපාන ආයෝජකයින් සඳහාම බිංගිරිය ආයෝජන කලාපය සූදානම් – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    February, 14, 2024

    ඉහළ පෙළේ ජපාන ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන හා තෙවන අදියරයන් කඩිනමින් සකස් කරන ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුනි. ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයෙන් අනතුරුව ජපාන ආයෝජකයින් විශාල පිරිසක් මෙරට ආයෝජන අපේක්ෂාවෙන් සිටිති. ඔවුන් මෙරටට පැමිණි සැනින් තම ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද අමුණුගම මහතා නිලධාරීන්ට දන්වා සිටියේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්,  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන්, ප්‍රාදේශීය ලේකම්, මහාමාර්ග, විදුලිබල, ජල සම්පාදන වැනි ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූහ.

    බිංගිරිය ආයෝජන කලාපයේ පළමුවන අදියරේ මේ වන විට ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කෙරේ. මෙසේ  ආයෝජනය කර ඇති ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වේ. මෙම ආයෝජකයන්ද හමු වූ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.

    බිංගිරිය ආයෝජන කලාපයේ පළමුවන අදියර අක්කර 160ක්ද දෙවැනි අදියර අක්කර 282ක් හා ‌තෙවන අදියරේ අක්කර 650ක් පමණ වේ. නව ආයෝජන කලාපය ආරම්භ වීමත් සමග ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය ඇතුලු  සියලු යටිතලු පහසුකම්හි කැපී පෙනෙන වර්ධනයක් අපේක්ෂා කරයි.අදියර තුනම ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක්  ජනිත වනු ඇතැයි අපේක්ෂා කරේ.