ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුමට බරටම වැඩ

    March, 15, 2014

    ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට බොහෝ දුරට මේ වසරේ අවසන් කාලයේදී අත්සන් තැබිය හැකි බවත් මේ වනවිට දෙරට විසින්ම මෙම ගිවිසුමට අදාළ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් අනාවරණය වේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන අංශයේ විධායක අධ්‍යක්ෂ, රේණුකා වීරකෝන් මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මුදල් අමාත්‍යංශය විසින් මෙම ගිවිසුමට ඇතුළත් විය යුතු දෑ පිළිබඳව මේ වනවිට වැඩ කටයුතු කරමින් සිටින බවයි.

    ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති වූ ජියන්හෝ මහතාද (Wu Jianghao) මේ පිළිබඳව පසුගියදා කොළඹදී අදහස් දක්වමින් පැවසුවේ දෙරට අතර වෙළඳාමේදී චීනය පාර්ශවයෙන් විශාල වෙළඳ අතිරික්තයක් තිබෙන නිසා ශ්‍රී ලංකාව පාර්ශවයෙන් සලකා බලා ලංකාවට අවාසියක් නොවන අයුරින් මෙම ගිවිසුමට එළඹීමට චීනය අදහස් කර තිබෙන බවයි.

    චීනය යනු ශ්‍රී ලංකාවේ මිතුරෙකු බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.