ලෝක වානේ කර්මාන්තය අර්බුදයක

    March, 31, 2016

    මේ වන විට ගෝලීය වානේ කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන ටාටා වානේ සමාගම සිය එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත රැකියා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටාටා ස්ටීල් හි ප්‍රකාශකයෙකු කියා සිටියේ ගෝලීය වශයෙන් වානේ සැපයුම ඉහළ යාමත්, මිල අඩු හා ආදේශක නිෂ්පාදිත යුරෝපානු වෙළෙඳපොළට පැමිණීමත් නිසා යුරෝපය තුළ වානේ නිෂ්පාදනය අර්බුදයට පත්ව ඇති බවයි. එසේම දේශීය වශයෙන් ඉල්ලුම පහළ බැසීම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ විනිමය අනුපාත උච්ඡාවචනයන් ද කර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.