රුපියල ඉදිරියේ යූරෝ බාල්දුයි. ඩොලරය නගින්න හේතු මෙන්න.

    April, 27, 2016

    2015 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 9% කින් අවප්‍රමාණය වී ඇති බව ඊයේ (26) එළිදක්වන ලද 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙහි සඳහන් වේ. ඊට අනුව පසුගිය වර්ෂය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා රුපියල් වටිනාකම රු. 131.00 සිට රු. 144.10 දක්වා වැඩි වී තිබේ.

    රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ සෘතුමය ආනයන නිසා වූ විදේශ මුදල් ආපසු රටින් පිටට ගලා යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව 2015 මහ බැංකු වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

    මීට අමතරව 2015 සැප්තැම්බර් 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාත තීරණය කිරීම සඳහා වෙළෙඳපොළට වැඩි අවස්ථාවක් ලබා දීම ද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට හේතු වශයෙන් දක්වා ඇත.

    මේ අතර 2015 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වන බ්‍රිතාන්‍ය පවුම, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට එරෙහිව පිළිවෙලින් 4.5%, 8.2% සහ 4.6% කින් අවප්‍රමාණය වී තිබේ.

    කෙසේ වෙතත් යූරෝවලට එරෙහිව 1.3% කින් ශ්‍රී ලංකා රුපියල පසුගිය වසර තුළ දී අධිප්‍රමාණය වී ඇත.