බදු නීතිය සංශෝධනයට සාකච්ඡා

    April, 29, 2016

    ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයත්, රජයේ ආදායම් පහළ යාමත් හමුවේ බදු සංශෝධන අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පැවසීය. ඊයේ කොළඹ දී පැවති එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර ආර්ථික හා සාමාජයීය සමීක්ෂණ වාර්තාව 2016 (UN Economic and Social Survey of Asia and the Pacific Report 2016) එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් සිරිවර්ධන මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා මෙසේ පැවසීය. “රජය VAT බද්ද 15% දක්වා සංශෝධනය කිරීම පමණක් නොව සෘජු බදු හා වක්‍ර බදු ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මේ අතරම බදු නීතිය වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අප සාකච්ඡා කරමින් සිටිනවා.“

    මෙම අවස්ථාවට එක්වෙමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය. “පසුගිය දස වසර දෙස බැලීමේ දී රජයේ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර රජයේ ආදායම ක්‍රමයෙන් පහළ බැස තිබෙනවා. මෙහිදී රජයේ ආදායම් ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් සිදුකළ යුත්තේ රජයේ වියදම් කපා හැරීමයි. එහිදී සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි අංශ වෙත සිදුකරනු ලබන වියදම් කපා හැරීමට රජයට සිදුවෙනවා. එහෙත් එය දේශපාලනික වශයෙන් පහසු තීරණයක් නොවෙයි. එබැවින් රජයේ ආදායම වැඩි කිරීමට බදු වැඩිකළ යුතු බව සියලු දෙනාම වටහා ගත යුතු කරුණක්“.

    Video Story

    Stock Market

    Exchange Rates