May, 28, 2024
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විවිධ පළාත්වල අධිකරණයන්හි නඩු 2,000කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතී.
එකී හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා එම ආයතනයන්හි ඉපයීම් ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබා දී එම ආයතනවල ඉපයීම්වලින් අදාළ ණය මුදල කොටස් වශයෙන් නිරවුල් කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.
එම ආයතන විසින් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලේ මුළු දායකත්ව මුදල ගෙවා සම්පූර්ණ කිරීමෙන් පසුව, එම මුදලට අදාළව ගෙවිය යුතුව පවතින අධිභාර මුදල අඩු කිරීමට 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව පවතී.
ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමටත්, එම හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසු 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන පරිදි එකී ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩු කළ හැකි උපරිම ප්‍රමාණය අඩු කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්ට උපදෙස් දීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story