2015 වසරේදී ලොව ගුවන් සේවාවන් ගමන් මලූ හැසිරවීමේදී පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරයි

    May, 6, 2016

    ගමන් මලූ හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ගුවන් සේවාවන් ගන්නා උත්සාහය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසර ගමන් මලූ හැසිරවීමේ දෝෂ අවම ප්‍රමාණයක් වාර්තා වූ වසරක් බවට පත්විය. SITA Baggage Report 2016 වාර්තාවට අනුව 2015 වසරේදී ගමන් මලූ හැසිරවීමේ දෝෂ වාර්තා වූයේ මගීන් දහසකට ගමන් මලූ 6.5 ක් වශයෙනි. මෙය පෙර වසරට සාපේක්ෂව 10.5% ක අඩුවීමකි. එමෙන්ම එය 2003 වසරට සාපේක්ෂව එම දෝෂ අනුපාතය හරි අඩකින් අඩුවීමක් වන අතර මෙතෙක් වාර්තා වූ අඩුම අනුපාතය ද වේ.

    මෙම ප්‍රගතිය වාර්තා වී තිඛෙන්නේ 2003 වසරේ සිට මේ දක්වා ගුවන් මගීන් සංඛ්‍යාව 85% කින් පමණ ඉහළ ගොස් තිඛෙන පසුබිමකදී වීම විශේෂත්වයකි. මගීන් සංඛ්‍යාව වැඩි වනවිට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්, සම්පත් මෙන්ම ගමන් මලූ හැසිරවීමේ ක්‍රියාවලිය වෙතද පීඩනයක් එල්ල වේ. පසුගිය වසරේ මගීන් බිලියන 3.5 ක් ගුවන් ගමන්වල යෙදුණු අතර මේ සංඛ්‍යාව අඩුවන බවක් පෙනෙන්නට නැත. මේ නිසා ගමන් මලූ හැසිරවීම සම්බන්ධයෙන් පියවරෙන් පියවර වෙනස්කම් හඳුන්වා දීමට ක්ෂේත්‍රය පියවර ගනිමින් සිටී. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංවිධානය (Air Transport Association - IATA) මේ වනවිට ගුවන් ගමන පුරාවටම ගමන් මලූ ගැන පරීක්ෂාකාරී වන ලෙස ගුවන් සේවාවන්ගෙන් ඉල්ලා තිබේ. එම සංවිධානයේ අංක 753 දරන යෝජනාව (IATA Resolution 753) 2018 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඉන් පසුව ගුවන් ගමන පුරාවට ගමන් මලූවල ගමන් මග නිරීක්ෂණය කෙරෙනු ඇත.

    “අංක 753 දරන යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඊළඟ වසර 3 තුළදී අවශ්‍ය පියවර ගැනීමට ගුවන් සමාගම් කටයුතු කරාවි. මේ උනන්දුව නිසා ගමන් මලූ හැසිරවීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලියම වඩාත් විධිමත් වේවි කියා අප සිතනවා. ඒ වගේම සාමාන්‍යයෙන් තැපැල් කළ පාර්සලයක ගමන් මග නිරීක්ෂණය කරනවා වගේම තමන්ගේ ගමන් මලූවල ගමන් මග පරීක්ෂා කිරීමට මගීන්ට හැකියාව ලැබේවි. ඒ නිසා ගමනේ ආතතිය අඩුවෙනවා වගේම ගැටලූවකදී ඉක්මනින් පියවර ගන්නටත් හැකි වෙනවා.“ SITA හි ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රැන්සිස්කෝ වයෝලන්තේ මහතා පැවසීය.

    SITA වාර්තාව මගින් අවධානය යොමුකර ඇති තවත් වෙනසක් වන්නේ ස්වයං-සේවා ගමන් මලූ සේවාවේ වර්ධනයයි. ලොව පුරා 40% ක් පමණ ගුවන් තොටුපළවල් සහ ගුවන් සේවා මේ වනවිට ගමන්මලූ සඳහා හැඳුනුම් සංකේත පත් (ටැග්) තමන්ම මුද්‍රණය කරගැනීමේ සේවාව මගීන්ට ලබාදීමට කටයුතු කර ඇත. 2018 වනවිට මෙම ප්‍රතිශතය 75% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2016 වසර අවසාන වනවිට මගීන් තුනෙන් එකක් පමණම කාර්ය මණ්ඩල සහය සහිත හෝ පූර්ණ ස්වයං සේවාව සහිත ‘බෑග් ඩ්‍රොප්‘ ස්ථානයක සේවාව භාවිතා කරනු ඇත.

    ගමන් මලූ සඳහා ටැග් යොදන ආකාරයද මේ වනවිට වෙනස් වෙමින් පවතී. පසුගිය වසර තුළදී ගමන් මලූ සඳහා නිත්‍ය ඉලෙක්ට්‍රොනික ටැග් භාවිතය ඛෙහෙවින් ප්‍රචලිත විය. මෙය මගීන්ට විශාල පහසුවක් වන අතර බලා සිටීමේ කාලයද අවම කරයි. සෑම ගුවන් ගමන් වාරයකදීම ජංගම දුරකථන යෙදුමක් හරහා තොරතුරු ඇතුළත් කළ හැකි මෙම ටැග් ක්‍රමය දැන් ඇතැම් ගුවන් සේවා සමාගම් අත්හදා බලමින් සිටී. එමෙන්ම මගීන්ට මීට සමාන වාසි ලබාදෙන අඩු වියදම් ක්‍රමයක් වන, නිවසේදීම ටැග් මුද්‍රණය කිරීමේ ක්‍රමයද ගුවන් සේවා සමාගම් කිහිපයක් දැනට භාවිතා කරයි.

    “ගමන්මලූ සම්බන්ධ සංඛ්‍යාලේඛන බොහොම සුභවාදී බව ඇත්ත. ඒත් පසුගිය වසරේදීත් ගමන් මලූ හැසිරවීම සම්බන්ධ ගැටලූ නිසා ඩොලර් මිලියන 2.3 ක වියදමක් දරන්නට ගුවන් සේවා ක්ෂේත්‍රයට සිදුවුණා. 2014 වසරට සාපේක්ෂව මෙය 3.75% ක අඩුවීමක් වුණත් අපි මේ ගැන දැඩි අවධානයක් යොමුකළ යුතුයි. මේ ක්ෂේත්‍රය තුළ මගීන්ට යහපත් අත්දැකීමක් ලැබීම ඉතාමත් වැදගත්. ගමන් මලූ හැසිරවීම විධිමත් කිරීම මගින් පාරිභෝගික තෘප්තිය වැඩිකිරීමට වගේම වියදම් ඉතිරි කරගැනීමටත් හැකියාව ලැඛෙනවා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණය අප සතුයි. මේ තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය සම්බන්ධයෙන් SITA මේ වනවිට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් ඉන්නවා.“ වයෝලන්තේ මහතා වැඩිදුරටත් පැවසී ය.

    වසර 20 ක කාලයක පටන් ගුවන් ගමන් ක්ෂේත්‍රයට ගමන් මලූවල ගමන් මග නිරීක්ෂණය කිරීම සම්බන්ධ පුරෝගාමී විසඳුම් පිරිනැමීමට SITA සමාගම කටයුතු කර තිබේ. අද වනවිට ලොව පුරා ගුවන් සේවාවන් 500 ක් සහ ගුවන් තොටුපළවල් 200 ක් පමණ එම සමාගම හඳුන්වා දී ඇති ගමන් මලූ කළමනාකරණ විසඳුම් භාවිතා කරයි. ගුවන් සේවාවන් සහ රට රටවල ගමන් මලූ හැසිරවීම් පද්ධති අතර සන්නිවේදනය පවත්වාගනිමින් අදාළ ගමන් මලූ නිසි ගමනාන්තයට පැමිණෙන බවට තහවුරු කරගැනීමට SITA පියවර ගනී. එහි BagMessage පද්ධතිය මගින් වසරකට ගුවන් යානා පිටත්වීම් පාලන පද්ධති සහ ස්වයංක්‍රීය ගමන් මලූ පද්ධති අතර හුවමාරු කරනු ලබන පණිවිඩ සංඛ්‍යාව බිලියන 2.5 කට අධික ය. එමෙන්ම ලොව ගුවන් තොටුපළවල් 2,800 ක් පමණ හැසිරවීමේ දෝෂවලට ලක්වූ ගමන් මලූ සොයාගැනීම සඳහා SITA හඳුන්වා දී ඇති WorldTracer® පද්ධතිය භාවිතා කරයි.
    වැඩි විස්තර සඳහා SITA වෙබ් අඩවියෙන් එහි සම්පූර්ණ වාර්තාව බාගත කරගන්න.

    *හැසිරවීමේ දෝෂවලට ලක්වූ ගමන් මලූ යනු ගුවන් සමාගම හෝ එහි හැසිරවීම් සමාගම මගින් වාර්තා ගත කරන ලද, ප්‍රමාද වූ, හානි වූ හෝ සොරාගන්නා ලද ගමන් මලූ වන අතර ඒවා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ආකාරයට කටයුතු කරනු ලැබේ.