අපනයන ආදායම අඛණ්ඩව 11 වන මාසයටත් පහළ බසී

    May, 10, 2016

    ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි භාණ්ඩ මිල අඛණ්ඩව පහළ යෑමට සමගාමීව 2016 ජනවාරි මාසයේ දී අපනයන ආදායම අඛණ්ඩව 11 වන මාසයටත් අඩු වී තිබේ. මේ අනුව පෙර වසරට සාපේක්ෂව 2.5% කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 894 දක්වා අපනයන ආදායම පහළ බැස තිබේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන් අපනයන ආදායම පහළ යෑම කෙරෙහි බලපා ඇත්තේ ඛනිජ තෙල් නිෂ්පාදිත, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, තේ සහ කුළුබඩු අපනයන අඩුවීමයි.

    නැව් සඳහා භාවිත කරන ඉන්ධන අපනයන පරිමාව සහ සාමාන්‍ය මිල ගණන් යන දෙහෙිම අඩුවීම පිළිබිඹු කරමින් 2016 ජනවාරි මාසයේ දී ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 53.3% කින් අඩු වී තිබෙන අතර මැණික් සහ දියමන්ති උප කාණ්ඩවල අපනයනවල වාර්තා වූ අඩු වීම හේතුවෙන් මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ අපනයන ආදායම 33.4% ක අඩු වීමක් පෙන්නුම් කර තිබේ.

    මේ අතර ප්‍රධාන වශයෙන් ඇතැම් මැදපෙරදිග රටවල් සහ රුසියාව, තුර්කිය ආදී ප්‍රධාන තේ අපනයන වෙළෙඳපොළවලින් ලංකාවේ තේ සඳහා වූ ඉල්ලුම දුර්වල වීම හේතුවෙන් 2016 ජනවාරි මාසයේ දී තේ අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.4% කින් අඩු වී ඇත.

    නොබෝදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළිදක්වන ලද 2016 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්ලේෂණයෙහි මේ බව සඳහන් වේ.