දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයක්

    July, 9, 2024

    • කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ලබන සතියේ ජනතා අයිතියට : කොහුවල ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතුත් අවසන් – මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්.
    • ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක පරිත්‍යාගයක්: බෙලිඅත්ත- කොළඹ විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ක්‍රියාත්මකයි – වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී.
    • ත්‍රිරෝද රථ, පාසැල් හා කාර්යාලීය ප්‍රවාහන සේවා, කුළී රථ නියාමනය කළ හැකි පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට යොමු කර තිබෙනවා – ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති.
    • බස් රථ 400ක් කඩිනමින් මිළ දී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතුද ආරම්භ කර තිබෙනවා – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති.

    මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (08 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු සඳහා පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී ඇති අතර කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වශයෙන් එම මුදල් වැය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මෙසේද පැවසීය.

    රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී තිබෙනවා. එම මුදලින් කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වැය කර තිබෙනවා.

    ඒ වගේම රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වඩාත්ම සතුටුදායක වන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බව කිව යුතුයි. පසුගිය අර්බුද සමයේ අතරමඟ නැවතුන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට එමඟින් හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 වන අදියර කඩිනමින් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ‍එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 සහ 3 අදියර, රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර අතුරුගිරිය කණු උඩ දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මූල්‍ය ආයෝජන හරහා සිදු කිරීමට අදාළ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කෙරෙනවා. මේ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන බලාපොරොත්තු වෙනවා.

    එසේම මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. සමස්ත අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමද මාස කිහිපයක් ඇතුළත විද්‍යුත් ක්‍රමවේදයකට ගෙන එනු ලබනවා.

    ඊට අමතරව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) සඳහා වන ආයෝජන යාවත්කාලීන කිරීම පිළිබඳව ජපාන රජය සමඟ මූලික සාකච්ඡා සිදු කරනු ලබුවා. ඒ අතර නව ව්‍යාපෘති රැසක් සඳහා චීනය, ඉන්දියාව සහ ජපාන රජයයන් සමඟ ද සාකච්ඡා කරමින් සිටිනවා.

    ඒ අනුව ඉදිරි වසර පහ තුළ ප්‍රවාහන හා මහාමාර්ග ක්‍ෂේත්‍රය 10%- 15% ක වේගයකින් වර්ධනය කිරීමට මේ වන විට සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

    මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. එම් සූරිය බණ්ඩාර මහතා,

    කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලමේ දෙවන අදියරේ ඉදි කිරීම් අවසන් කර ලබන සතියේ ජනතා අයිතියට පත් කරනවා. ඒ වගේම කොහුවල ගුවන් පාලමද ඉන්පසු සතියේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. තවද වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ වැඩකටයුතුද සැප්තම්බර් මාසයේ මුල් භාගයේදී අවසන් කරනවා.

    මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ව්‍යාපෘති දහස් ගණනක් රට පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ අතරින් පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කළ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් දහසේ ව්‍යාපෘතිය යටතේ පසුගිය මේ වන විට ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 320ක් අවසන් කර ඇති අතර ඉතිරි ප්‍රමාණය අගෝස්තු මාසයේ දී අවසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

    වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා,

    අක්කර 12,000ක් පමණ වන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා ජනතාවට බදු ගැනීමේ අවස්ථාව අප ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විටත් අනවසරයෙන් හෝ අවසරය ඇතුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල පදිංචිකරුවන්ට එම ඉඩම් සඳහා බදු ඔප්පුවක් ලබා ගැනීම සඳහා ලියාපදිංච් වීමට ඉඩ ලාබෙනවා. ඒ වන විටත ලියාපදිංචි නොවූවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, එම ස්ථානවලින් ඉවත් කිරීමටත් කටයුතු කරනවා.

    ඒ වගේම මහව- ඕමන්ත දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අගෝස්තු මාසයේ අවසන් කරන අතර පසුගිය 15 වෙනිදා සිට බෙලිඅත්ත සිට කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය ආරම්භ කරනු ලැබුවා. ගොවියන්, ව්‍යාපාරිකයන් ඇතුලු කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරන පාර්ශ්වයන්ට මෙහි සේවය ලබා ගත හැකියි. මීට අතරව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ස්ථාන බහුකාර්ය ව්‍යාපෘති ලෙස පුද්ගලික අංශය සමඟ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුලු දුම්රිය ස්ථාන 06ක් මේ වන විටත් ඒ අනුව සංවර්ධනය කරමින් පවතිනවා.

    තවද දුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී තිබෙනවා. එහි පළවෙනි කොටස මාස දෙකක් ඇතුළත අපට ලැබෙනු ඇතියි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා,

    ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ අපට නියාමනය කළ හැකි වන්නේ බස් රථ පමණයි. නමුත් ත්‍රිරෝද රථ, පාසැල් හා කාර්යාලීය ප්‍රවාහන සේවා, කුළී රථ ආදියද නියාමනය කළ හැකි පරිදි එම පනත සංශෝධනයට යොමු කර තිබෙනවා. මීට අමතරව සමාජ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිසු සැරිය’ හරහා පාසැල් 5000ක් පමණ ආවරණය වන පරිදි ළමුන් 110,000කට පමණ ප්‍රවාහන පහසුකම් සපයනු ලබනවා. ඒ වගේම රජයේ සහ පෞද්ගලික ආයතන සඳහා ප්‍රවාහන සේවා සැපයීමටද කටයුතු කරනවා. මෙමඟින් නාගරික වාහන තදබදය අවම කිරීම, ඉන්ධන දහනය අවම කිරීම, පරිසර දූෂණය අවම කිරීම ආදියට දායක වීමට හැකි වී තිබෙනවා.

    එසේම ගැමි සැරිය තුළින් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සපයමින් ඔවුන්ගේ ජීවන තතත්වය ඉහළ නැංවීමටද දායන වෙනවා. මේ අතර අන්තර් පළාත් බස්රථ සඳහා කාලසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ද අප විසින් සිදු කරනවා. තවද 0712555555 සහ 1955 යන දුරකතන අංක යටතේ මහජනතාවට පාරිභෝගික සත්කාර ඒකකය හා සම්බන්ධ වීමට අවස්ථාව සළසා දී තිබෙනවා. ඒ හරහා මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමත් මගී ප්‍රවාහන සේවා සම්බන්ධ තොරතුරු ලබා දීමත් සිදු කෙරෙනවා.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,

    අපගේ බස් රථ තුළින් දෛනිකව සිදු කරන ගමන් වාර 5500ක් හරහා මගීන් ලක්ෂ 12ක් පමණ සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නවා. ඩිජිටල්කරණ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් අප ගේ ආදායම ගිලිහී යාම සම්පූර්ණයෙන් නවතා ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි. අප පසුගිය වසරේ බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කර තිබෙනවා. මේ වසරේත් බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඒ වගේම නව බස්රථ 1000ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව බස් රථ 400ක් කඩිනමින් මිළ දී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතුද ආරම්භ කර තිබෙනවා.

    සිසු සැරියට අමතරව පාසැල් සිසුන් මෙන්ම කාර්මික විද්‍යාල සිසුන් සඳහා සහනදායී මිල යටතේ බස් රථ සැපයීම මිසු කරන අතර දෛනිකව සිසු සැරිය සඳහා බස් රථ 811ක් ද ඊට අයත් නොවන පාසැල් සේවාවන් සඳහා බස් රථ 890ක්ද අප විසින් සපයනවා.

    පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව්‍යකරණය සඳහා විදුලි බස් රථ හඳුන්වා දීම, නවීන තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් බස් රථ ඇණියේ මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු කිරීඹ, මගී ජනතාවට ‍තොරතුරු ලබා දෙන සුහුරු ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම දේශගුණික විපර්යාසයන් සඳහා මුහුණ දීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සැලසුම් කර තිබෙනවා.

    මේ වන විටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දුර ගමන් දේවා සඳහා ආසන වෙන් කිරීම, අන්තර් ජාලය ඔස්සේ දුර ගමන් සේවා කාල සටහන් ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඉදිරි කාලය තුළ ඩිජිටල්කරණය හරහා තවත් සේවාවන් රැසක් හඳුන්වා දීමට නියමිතයි.