සෙලාන් බැංකුව 2016 පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 720 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි

    May, 16, 2016

    සෙලාන් බැංකුව 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක කාලපරිච්ෙඡ්දය සඳ හා ආදායම් බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 720 ක ලාභයක් වාර්තා කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ සමාලෝචිත කාර්තුව තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 691 ක ලාභය හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි.

    එසේම 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක කාලය තුළ දී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රුපියල් මිලියන 2,805 සිට රුපියල් මිලයන 2,939 දක්වා 4.8% කින් වර්ධනය වී තිබේ. තවද මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 23.6%කින් ඉහළ නැග තිබෙනුයේ රුපියල් මිලියන 562 සිට රුපියල් මිලියන 695 දක්වා වර්ධනයක් සනිටුහන් කරමිනි. මෙය පසුගිය වසර ගණනාවක් පුරාවට බැංකුව විසින් අඛණ්ඩ පවත්වා ගෙන ආ සිය කාර්යසාධනයේ ප‍්‍රතිඵලයක් ලෙසින් හැඳින්විය හැකිය.

    වෙළෙඳ, මූල්‍ය උපකරණ මත ඉපයීම්, විදේශ විනිමය ඉපයීම් හා වෙනත් ආදායම් රුපියල් මිලියන 401 සිට 117% කින් මෙම කාලය තුළ දී පහළ ගොස් තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ වෙළෙඳපොළ පොළී අනුපාතිකවල දක්නට ලැබුණු ඉහළ යාමේ ප‍්‍රවණතාව හේතුවෙන් රජයේ සුරැකුම්පත්වලින් වෙළෙඳපොළ අගය මත ගණනය කිරීම්වලට අනුව රුපියල් මිලියන 68 ක ශුද්ධ අලාභයක් වාර්තා වී ඇත.

    සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී පිරිවැය පාලනයන් කෙරෙහි බැංකුවේ සුවිශේෂී අවධානය යොමුව තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් 2016 පළමු කාර්තුව තුළ සමස්ත පිරිවැය රුපියල් මිලියන 2,129 සිට රුපියල් මිලියන 2,273 දක්වා 6.8% කින් වර්ධනය වී ඇත.

    2016 පළමු කාර්තුව තුළ දී බැංකුවේ ශුද්ධ ණය වර්ධනය 4.27% කි. මෙහිදී ශුද්ධ ණය වටිනාකම රුපියල් මිලියන 193,103 සිට රුපියල් මිලියන 201,350 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ තැන්පතු පදනම රුපියල් මිලියන 224,525 සිට රුපියල් මිලියන 225,445 දක්වා වර්ධනය වී තිබේ. 2016 මාර්තු අවසානය වන විට බැංකුවේ සමස්ත තැන්පතු පදනමින් 36.9% ක් ලෙසින් එහි ජංගම හා ඉතිරිකිරීමේ ගිණුම්වලින් සමන්විත අඩු පිරිවැය තැන්පතු පදනම වාර්තා වී ඇත.

    2016 මාර්තු අවසානය වන විට බැංකුවේ දළ අක‍්‍රීය වත්කම් වටිනාකම 4.71% මට්ටමේ තබා ගැනීමට හැකි වී ඇත. මෙය 2009 වසරේ පටන් බැංකුව විසින් කි‍්‍රයාවට නංවන ලද තිරසාර හා ඵලදායී ප‍්‍රතිසාධන කටයුතුවල ප‍්‍රතිඵලයකි.

    සෙලාන් බැංකුව විසින් පසුගිය කාලය තුළ දියත් කරනු ලැබූ ආයතින සමාජ සත්කාරක වැඩසටහනක් වන දිවයින පුරා පිහිටි අඩුපහසුකම් සහිත පාසල් 100 ක් සඳහා පුස්තකාල 100 ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මෙම කාලය තුළ දීද අඛණ්ඩව සිදුකරගෙන යන ලදී. මෙහිදී 2016 පළමු කාර්තුව තුළ තවත් එවැනිම පාසල් පුස්තකලා 20 ක් විවෘත කිරීමට බැංකුවට හැකියාව ලැබුණි.

    ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීමේ අරමුණින් බැංකුවේ ශාඛා ජාලය නවීකරණ හා ප‍්‍රතිස්ථාපන කටයුතු 2016 වසර තුළ දීද සාර්ථක අන්දමින් සිදුකරගෙන යමින් පවතී. මේ වන විට පසුගිය වසර 4 ක කාලය තුළ දී බැංකුවේ ශාඛා ජාලයෙන් 85% ක් සම්පූර්ණයෙන්ම නවීකරණය කර තිබේ. 2016 පළමු කාර්තුව තුළ දී වෙන්නප්පුව, දංකොටුව, පන්නල හා අතුරුගිරිය යන ප‍්‍රදේශවල සෙලාන් බැංකුවේ නව ශාඛා 4 ක් විවෘත කිරීමට කටයුතු කෙරිණි. 2016 මාර්තු 31 වන විට බැංකුවේ ශාඛා ජාලය ශාඛා 163 කින්, ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර 189 කින් හා සිසු ඉතුරුම් මධ්‍යස්ථාන 100 කින් සමන්විත වී තිබේ.

    2016 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ දී බැංකුවේ මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණතා අනුපාතිකය 11.43% ක් හා පළමු ස්ථර අනුපාතිකය 11.02% ක් ලෙසින් වාර්තා වන අතර මෙය ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් නියම කර ඇති මට්ටමට වඩා ඉහළ අගයකි. තවද 2015 ජූලි මාසය තුළ දී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A-lka ශ්‍රේණිය අත්පත් කර ගනිමින් සිය ස්ථායිභාවය මනාව තහවුරු කිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.

    බැංකුව විසින් වාර්තා කරන ලද මෙම සුවිශේෂී කාර්යසාධනයත් සමඟම 2016 පළමු කාර්තුවේ දී බැංකුවේ කොටසක ඉපැයුම රුපියල් 2.09 ක් වශයෙන් වාර්තා වේ. තවද වත්කම් මත ප‍්‍රතිලාභ (බදු ගෙවීමට පෙර) හා හිමිකම් මත ප‍්‍රතිලාභ පිළිවෙලින් 1.27% ක් හා 12.13% ක් වශයෙන් වේ. 2016 මාර්තු 31 වැනිදා වන විට බැංකුවේ කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් අගය රුපියල් 65.04 කි. (සමූහයේ මෙම අගය රුපියල් 68.47 ලෙසින් වාර්තා වේ).