September, 2, 2024
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL) එක්ව උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පසුගියදා ඔලුවිල් හි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී. මූල්‍ය ලෝකයේ සැරිසැරීමට අත්‍යවශ්‍ය දැනුම සහ කුසලතාවන්ගෙන් සිසුන් සන්නද්ධ කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.
මෙම අවබෝධතාවය හරහා, CSE සහ SEUSL එක්ව සිසුන් ප්‍රාග්ධන වෙළඳපොළට යොමු කිරීමට අවශ්‍ය අධ්‍යාපනික වැඩසටහන්, වැඩමුළු සහ සීමාවාසික පුහුණු වැඩසටහන් නිර්මාණය කරනු ඇත. ගණකාධිකරණය, මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි හදාරන සිසුන්ට CSE වෙතින් ලබා දෙන සීමාවාසික පුහුණුව හරහා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට ද අවස්ථාව ලැබේ.
තවද, මූල්‍ය කළමනාකරණ විශේෂ වැඩසටහනේ ඉහළම ‘ශ්‍රේණි සාමාන්‍ය අගය’ (GPA) හිමිකරගන්නා ශිෂ්‍යයාට CSE විසින් සම්මානයක් ප්රදානය කරනු ඇත. පාඨමාලා අන්තර්ගතය සැලසුම් කිරීම, අනාගත ඩිප්ලෝමා වැඩසටහන් සඳහා විශේෂඥ දැනුම සහ සම්පත් සැපයීම මගින් කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යාපනික වැඩසටහන් සඳහා ද විශ්වවිද්‍යාලය දායක වනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් SEUSL වැඩබලන උපකුලපති ආචාර්ය යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “මෙම අවබෝධතා ගිවිසුම අග්නිදිග විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම සහයෝගීතාවය හරහා, අපගේ සිසුන්ට දැනුම හිමි කරදීම පමණක් නොව, ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය වන කුසලතා ලබා දීම සහ ඔවුන් ව්‍යාපාර ආයතන වෙත යොමු කිරීමට ද අපට හැකි වනු ඇත. CSE විසින් පිරිනමනු ලබන මෙම අවස්ථා නිසැකවම අපගේ සිසුන් මනාව ඔප්නංවා, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළඳපොළ අංශවල සාර්ථක වෘත්තීන් සඳහා ඔවුන් සූදානම් කරනු ඇත.
CSE ජ්‍යෙෂ්ඨ උප සභාපති - අලෙවිකරණ, නිරෝෂන් විජේසුන්දර මහතා ද සිය අදහස් මෙලෙස දැක්වුවේය. “ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අතර මූල්‍ය සාක්ෂරතාවය පෝෂණය කිරීම සඳහා එම ආයතනය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ලැබීම අප ලද භාග්‍යයකි. මෙම සහයෝගීතාව හරහා සිසුන්ට ප්‍රායෝගික අත්දැකීම් හිමි කරදීම පමණක් නොව, ඒ හරහා ලැයිස්තුගත සමාගම් 285 තුළ රැකියා අවස්ථා සඳහා ද ප්‍රවේශය ලබා දෙන බැවින් එය ඉතා වැදගත් අවස්ථාවකි. මේ හරහා සිසුන්ට අත්‍යවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට දැරිය හැකි මුදලකට ප්‍රවේශය ලබා දෙන අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක් හදුන්වාදීම අපගේ අරමුණයි. පුද්ගලික අංශයේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය කුසලතා ඊළඟ පරම්පරාවේ නායකයින්ට ලබා දීම සඳහා මෙම වැඩසටහන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අප අපේක්ෂා කරන අතර එමඟින් අප රටේ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දෙනු ඇත.
ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) CSE මඩකලපුව ශාඛාවේ කළමනාකරු, ආර් එම් සිවානන්දන් මහතා, SEUSL කළමනාකරණ හා වාණිජ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඒ එම් එම් මුස්තාෆා මහතා, CSE ශාඛා ජාලයේ කළමණාකාර, නිශාන්ත බටගල්ල මහතා, CSE ජ්‍යෙෂ්ඨ උප සභාපති - අලෙවිකරණ, නිරෝෂන් විජේසුන්දර මහතා, SEUSL වැඩ බලන උපකුලපති, ආචාර්ය. යූ එල් අබ්දුල් මජීඩ් මහතා, SEUSL රෙජිස්ට්‍රාර්, එම්. අයි. නව්ෆර් මහතා, SEUSL කළමනාකරණ සහ වාණිජ පීඨයේ ගණකාධිකාරී හා මූල්‍ය දෙපාර්තමේන්තුවේ, කථිකාචාර්ය, එම්. ෆර්විස් මහතා.
Video Story