රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී

    May, 30, 2016

    ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් 2017 අගෝස්තු මාසයේදී 'සිලෝන් ටී එක්ස්පෝ' නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් 2017 අගෝස්තු මාසයේදීම පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වලද යුරෝපීය රටවල්වලද වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ආයතන ද මෙම ප්‍රදර්ශන සඳහා සහභාගි වේ. නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිල දී ගන්නන් සහ ආයෝජකයින් සහභාගි වන මෙබඳු ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් ජාත්‍යන්තරයට සමීප වීමට අවස්ථාව සැලසෙන අතර, විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමටත්, නව තාක්ෂණය හා පහසුකම් සමඟ බද්ධ වීමටත්, ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසෙනු ඇත.