ඉස්වරන් ශ්‍රී ලංකාවට පැමිණෙයි

    May, 31, 2016

    සිංගපූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ඇමති එස්. ඉස්වරන් මහතා අද (31) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සිංගපූරු සමාගම් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමත් ඉස්වරන් මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණු වේ.

    සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී නැගෙනහිර පළාතේ සංචාරයක නිරතවීමට ද සිංගපූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා සැලසුම් කර තිබෙන අතර, එහිදී ත්‍රිකුණාමල වරායෙහි සංචාරයක් සඳහා ජූනි 02 වන නිරත වනු ඇත. සිංගපූරු සමාගමක් වන ප්‍රීමා සිලෝන් පිටි කම්හල ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාවට මෙහිදී යොමු වීමට නියමිතය.

    හෙට (01) දින කොළඹ දී ආරම්භ වන ශ්‍රී ලංකා - සිංගපූරු ව්‍යාපාරික සංසදයට එක්වීම අමාත්‍ය එස් ඉස්වර්න් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා - සිංගපූරු ව්‍යාපාරික සංසදය හෙට උදෑසන සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය. මේ අතර සිංගපූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද හෙට දිනයේ දී සංවිධානය කර තිබේ.