සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

    October, 30, 2024

    නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති)

    රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති නොයෙල් ප්‍රියතිලක මහතා පැවසීය. දැනට පවතින සේවය අවසන් කිරීමේ නීතියට අනුව යම් අර්බුද අවස්ථාවකදී කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් ඵලදායී තීරණයකට ඒළැඹීමට ඇති හැකියාව අවම තත්වයක පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    කෝවිඩ් සමයේදී සහ ඉන් අනතුරුව පැන නැගුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය යම් පසුබෑමකට ලක් වූ අතර විශේෂයෙන්ම ගෝලීය ආර්ථික පසුබෑම හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම් වලට හිමිවන ඇඟලුම් ඇනවුම් ප්‍රමාණය අවම වීමත් මේ පසුබිම තුළ තව දුරටත් පෙර තත්යෙන් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඇඟලුම් නිෂ්පාදකයින්ට නොහැකි වීම හේතුවෙන් සේවක ධාරිතාව අවම කිරීමට මහා පරිමාණයේ හා සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් කර්මාන්තයන්ට සිදු විය. ඒහෙත් දැනට පවතින සේවය අවසන් කිරීමේ නීතියට අනුව සේවකයකුගේ සේවය අවසන් කිරීම සේව්‍ය පාර්ෂවයට දැඩි නීති ගණනාවකට අවනත වීමට සිදු වීම හේතු කොට ගෙන සුළු හා මධ්‍ය පරිමාණයේ නිෂ්පාදකයින්ට සිය කර්මාන්තය අතහැරීම හැර වෙනත් විකල්පයක් ගැනීම මෙම නීතිය මගින් අවම කර ඇත. ඒබැවින් සේවය අවසන් කිරීමේ නීතිය තුළින් සේව්‍ය සේවක දෙපාර්ෂවයම රැකෙන සහ විදේශ ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කර ගත හැකි නීති ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතු බව නොයෙල් ප්‍රියතිලක මහතා අවධාරණය කර සිටී.

    පුද්ගලික අංශයේ සේවකයින් සඳහා සමාජ ආරක්සණ වැඩපිළිවෙලක් හඳුන්වා දීම සේව්‍ය සේවක දෙපක්ෂයේම පැවැත්ම සඳහා ක්‍රියාත්මක කළ හැකි වඩාත් ප්‍රශස්ත විසඳුමක් ලෙස ඔහු පෙන්වා දෙයි. වර්තමානයේදී පුද්ගලික අංශයේ සේවකයින්ට හිමිවන සේවක අර්ථසාධක සහ සේවා නියුක්තීන්ගේ භාර අරමුදලට අමතරව තවත් සමාජ ආරක්ෂණ අරමුදලක් තිබිය යුතු බව ඔහු මෙහිදී කියා සිටි. ඒනම් දැනට සේව්‍ය පාර්ෂවය විසින් සේවා නියුක්තීන්‌ගේ භාර අරමුදල සඳහා දායක කරන 3% ක මාසික දායකත්වයට අමතරව තවත් 1%ක් සේවකයින් වෙනුවෙන් ඇති කරනු ලබන සමාජ ආරක්ෂණ අරමුදලට ලබා දීම සහ තවත් 1% සේවකයින්ගේ වැටුපෙන් අයකර ගනිමින් ගොඩනගනු ලබන ආරක්ෂණ අරමුදලක් තුළින් සේවකයින් වෙනුවෙන් වූ මෙම සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල යථාර්තයක් බවට පත් කර ගත හැකි බව නොයෙල් ප්‍රියතිලක මහතා වැඩිදුරටත් පැවසීය. මෙම වැඩපිළිවෙල පිළිබඳව සංකල්පීය අදහස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ද පැසසුමට ලක් වූ අතර ඒ්කබද්ධ ඇඟලුම් සංසද සම්මේලනය මෙම යෝජනාව ඉදිරියට ගෙන යෑමට කටයුතු යොදා ඇත. මෙම අදහස ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව පුද්ගලික අංශයේ මිලියන 2.8ක් පමණ වන සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත සාමාජිකයින් වෙතටද මෙය දියත් කළ හැකි බව නොයෙල් ප්‍රියතිලක මහතා අදහස් පළ කරයි.