A2Z Drop-Shipping නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන දිනයි

    January, 15, 2025

    මෙරට ප්‍රමුඛතම Drop-Shipping සමාගමක් වන A2Z Drop-Shipping පෞද්ගලික සමාගම Peoples Excellency සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ අයූබ් කාදර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඔහු 2023දී ඇරැඹූ A2Z සමාගම වසර දෙකක් වැනි කෙටි කාලයකින් වෙළෙඳපොළ අතික්‍රමණය කර ඇත. ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වේදිකාවක් හරහා මාර්ගගත ව්‍යාපාර ඇරැඹීමටත්, අරඹා ඇති ව්‍යාපාර වර්ධනය කර ගැනීමටත් එම සමාගම ව්‍යවසායකයන්ට අවස්ථාව සළසයි. 10,000කට වැඩි ක්‍රියාකාරී අලෙවිකරුවන්ගෙන් සමන්විත එම සමාගම 200,000කට වැඩි ඇණැවුම් සංඛ්‍යාවක් සම්පූර්ණ කර තිබේ. ඔවුන් තොග කළමනාකරණය සහ ඇණැවුම් බෙදා හැරීම ඇතුළු සැපැයුම් කටයුතු පිළිබඳව වග බලා ගන්නා බැවින් අලෙවිකරුවන්ට සිය වෙළෙඳ නාම ගොඩ නැගීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ හැකිය.

    වෙළෙඳපොළ තත්ත්වවලට අනුගත වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදන 5,000කට වැඩි සංඛ්‍යාවක් A2Z වේදිකාව සතු වේ. ලියාපදිංචි වීම සඳහා වන සරල ක්‍රමවේදය, සතිපතා ගෙවන කොමිස් මුදල් සහ තොග ඇණැවුම් සඳහා පිරිනමන සුවිශේෂ වට්ටම් වැනි ප්‍රතිලාභ නිසා ඕනෑම අත්දැකීම් මට්ටමක් සහිත අලෙවිකරුවෙකුට එම සමාගම සමග සම්බන්ධ වී සිය අලෙවි කටයුතු කළ හැකිය. මාර්ගගත අලෙවිසැල් නිර්මාණය කිරීමේ පටන් අලෙවි විභවය ඉහළ නැංවීම දක්වා වන සෑම ක්‍රියාදාමයකදීම සමාගමේ කාර්ය මණ්ඩලය අලෙවිකරුවන්ට සහාය වේ. A2Z සමාගම ජාත්‍යන්තර සැපයුම්කරුවන් රැසක් සමග හවුල්කාරිත්ව ඇති කර ගෙන ඇති බැවින් තරගකාරී වෙළෙඳපොළට ප්‍රවේශ වීමටත්, ගෝලීය වෙළෙඳපොළ සමග ගනුදෙනු කිරීමටත් අලෙවිකරුවන්ට අවස්ථාව ඇත. “මේ සම්මානය තුළින් නව්‍යකරණය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය සඳහා අප සතු කැපවීම ඇගැයීමට ලක් වෙලා තිබෙනවා. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමේ නියුතු ඔබට අවශ්‍ය සියලු ආකාරයේ සහයෝගය දීමට අප සූදානම්. ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් e-commerce ක්ෂේත්‍රය වර්ධනය සහ නව ප්‍රමිති ඇති කිරීම අපගේ අරමුණයි.” අයූබ් කාදර් මහතා පැවසීය.