December, 29, 2014
සුරබයා සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් සිටියදී පුද්ගලයින් 162 ක් සමග ඊයේ උදෑසන අතුරුදන් වූ QZ8501 නැමති එයාර්ඒෂියා ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කරන බව මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ තුළින් හෙළිව තිබේ.
පරීක්ෂණ කණ්ඩායම් සනාථ කර තිබෙන්නේ මෙම ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කළ හැකි තොරතුරු තිබෙන බවයි.
මෙම ගුවන් යානය පිළිබඳ තොරතුරක් සොයා මේ වනවිට ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව විසින් ජාවා මුහුදේ ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මේ දක්වා කිසිදු සුන්බුන් කොටසක් හමුවී නොමැති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම මෙහෙයුම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ සහාය ලැබෙන බවද සඳහන්ය.
මෙම ගුවන් යානය එරට වේලාවෙන් ඊයේ උදෑසන 5.35ට ඉන්දුනීසියාවේ සුරබයා නගරයෙන් ගමන් ආරම්භ කර තිබෙන අතර පියාසර කිරීම අරඹා විනාඩි 42 කින් සියළු සන්නිවේදන සම්බන්ධතාවයන් බිඳ වැටී ඇත.
2001 වසරේදී මැලේසියාව පදනම් කරගෙන ආරම්භ කළ ඒයාර්ඒෂියා නැමති අඩුමිල ගුවන් සේවයට අයත් Airbus A320-200 නැමති මෙම ගුවන් යානයේ තිබී ඇත්තේ පැරණි රේඩාර් පද්ධතියකි. කෙසේවෙතත්, මෙම ගුවන් සේවයේ ආරක්ෂිත ඉතිහාසය ඉතාමත් හොඳ එකක් වන අතර බරපතල ගුවන් අනතුරු වලට සමාගමේ යානා මීට පෙර මුහුණ දී නොමැත.