Alere – Abbott ගනුදෙනුවෙන් නාමල් නාවන ට ඩොලර් මිලියන 11.1 ක්

    February, 6, 2016

    ලොව ප්‍රමුඛ පෙළේ රෝග විනිශ්චය උපාංග හා සේවා සම්පාදකයෙකු වන Alere සමාගමේ හිමිකාරීත්වය, Abbott Laboratories සමාගම විසින් මිලදී ගැනීමට මේ වන විට කටයුතු යොදා තිබේ. මෙම ව්‍යාපාරික අත්පත් කර ගැනීම හරහා Alere හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී නාමල් නාවන මහතා ට ඇමරිකානු ඩොලර් මිලියන 11.1 ක එකවර ගෙවීමක් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

    මෙම ගෙවීම තුළ නාමල් නාවන මහතාට ඉදිරි මාස 18 කට හිමි වැටුප වශයෙන් ඩොලර් මිලියන 1.3 ක්, ඩොලර් 201,000 ක මුදල් ප්‍රදානයක්, කොටස් අයිතිය වෙනුවෙන් ඩොලර් මිලියන 7.9 ක් හා සමාගමේ පරිපාලනය වෙනස්වීම හරහා ගෙවීමට සිදුවන බදු වෙනුවෙන් ඩොලර් මිලියන 1.65 ක අනුග්‍රාහක ආවරණයක් අන්තර්ගත බව වාර්තා වේ.

    Bloomberg දත්ත වාර්තා අනුව Alere සමාගමේ කොටස් 81,000 ක අයිතිය නාමල් නාවන මහතා සතුවන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 4.5 ක් ලෙසින් සඳහන් වේ.

    Abbott Laboratories විසින් Alere සමාගම අත්පත්කර ගන්නා බව මෙම සතිය තුළ දී නිවේදනය කර තිබෙන අතර ඒ සඳහා ගෙවීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5.8 කි.

    මෙම ව්‍යාපාරික අත්පත් කරගැනීම හේතුවෙන් Alere සමාගමේ ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් වෙත ඩොලර් මිලියන 24 ක් ගෙවීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාවේ උපත ලද්දෙකු වන නාමල් නාවන මහතා ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහු ඇඩිලේඩ් සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරුකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු මෙන්ම වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති (Masters) උපාධිධාරියෙකි. එසේම එක්සත් ජනපදයේ Henley Business School වෙතින් ඔහු සිය MBA උපාධිය සම්පූර්ණ කර තිබේ.