BMICH ජාත්‍යන්තර Gold Century Quality සම්මාන උළෙලේදී රනින් පිදුම් ලබයි

    March, 9, 2016

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව (BMICH), ව්‍යාපාරික හා මෙහෙයුම් කටයුතු වලදී පිළිබිඹු කරන විශිෂ්ට පූර්ණ තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් මෙවර Century International Quality ERA (CQE) සම්මාන උළෙලේදී රන් කාණ්ඩයේ ජයග‍්‍රහණය හිමිකරගැනීමට සමත්විය.

    පූර්ණ තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් වූ QC100 ආකෘතියට අනුව සකස් වුණු සුවිශේෂී ආයතන, සමාගම්, සංවිධාන හා ව්‍යාපාරිකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම වසරක් පාසා පැවැත්වෙන Century International Quality ERA (CQE) සම්මාන උළෙලේදී සිදුවෙයි. BID දායකත්වයෙන් සංවිධානය වන 18 වන Century International Quality ERA සම්මාන උළෙල මෙම මසදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජීනීවා හි පිහිටි InterContinental Genève මධ්‍යස්ථානයේදී ය. BMICH වෙත හිමිවූ මෙම සම්මානය එහිදී නිළ වශයෙන් පිරිනැමීමට නියමිත අතර BMICH නියෝජනය කරමින් BMICH අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, සුනිල් දිසානායක මහතා ඒ සඳහා සහභාගීවීමට නියමිතය. විවිධ ව්‍යාපාරික ආයතන, වෘත්තිකයින්, කලා ක්ෂේත‍්‍රයේ පිරිස්, තත්ත්ව කළමනාකාර විශේෂඥයින්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් හා රාජ්‍යතාන්ත‍්‍රික කණ්ඩායම් ආදී ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රවීණයින් රැසක් මෙම සම්මාන උළෙලට සහභාගී වීමට නියමිතය.

    Century International Quality ERA (CQE) වැනි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී තරග කිරීමට අවශ්‍ය නොවන මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් BMICH වෙත හිමිවීමට බලපෑ සුවිශේෂී කරුණු කිහිපයක් ඇත. BMICH සුවිශේෂී නායකත්වය හා ව්‍යාපාර කළමනාකරණයෙහිලා දක්වන විශිෂ්ටත්වය, පාරිභෝගිකයින්ට ලබාදෙන ගුණාත්මක බවින් ඉහළ සේවාව, BMICH වෙත හිමිවී තිබෙන කීර්ති නාමය මෙන්ම නව තාක්ෂණය හා නව්‍යකරණ අනුව මෙහෙයුම් සිදුකිරීම ආදිය මෙහිදී විශේෂය.

    ''QC100 පූර්ණ තත්ත්ව කළමනාකරණ ආකෘතියට අනුව BMICH පරිශ‍්‍රයේ සියලූ මෙහෙයුම් කටයුතු සිදුවෙයි. පාරිභෝගිකයින්ව තෘප්තියට පත්කිරීම හා අනවශ්‍ය වියදම් අවම කිරීමට පියවර ගැනීම ආදියෙහිදී අප දැක්වූ සුවිශේෂී කැපවීම මෙම සම්මානය දිනාගැනීම තුළින් තවදුරටත් පිළිබිඹු වන බව මගේ අදහසයි. BMICH මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී පූර්ණ තත්ත්ව කළමනාකරණයට ප‍්‍රමුඛස්ථානයක් ලබාදුන්නා. ගුණාත්මක බවින් ඉහළ සේවාවක් ලබාදෙන මෙරට ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස BMICH වෙත හිමිව තිබෙන කීර්තිමත් නාමය මෙම සම්මානය තුළින් තවදුරටත් පිළිබිඹු වෙයි.'' BMICH අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා පැවසුවේය.

    BMICH, QC100 පූර්ණ තත්ත්ව කළමනාකරණ ආකෘතියට අනුව එහි පරිශ‍්‍රය සකස් කර ඇති අතර සේවාදායකයින් හට BMICH සතු සම්පත් හා ඉඩකඩ මැනවින් දැකගත හැකිය. මෙමගින් BMICH කටයුතු ඉහළ ගුණාත්මක බවින් යුතුව පවත්වාගෙන යාමට ද හැකිවී ඇත. එබැවින්ම, සුවිශේෂී තත්ත්ව කළමනාකරණයෙන් යුතු ආයතනයක් ලෙස ඉහළ පිළිගැනීමක් හිමිකරගැනීමට ද BMICH සමත් වී ඇත.