BMICH දැන් උත්සව සහ ප්‍රිය සම්භාෂණ සඳහා ද විවෘතයි

    February, 16, 2016

    කොළඹ නගරයේ පිහිටි ප්‍රෞඪ ඉදිකිරීමක්වන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) විවිධ උත්සව අවස්ථාවන් සඳහා ද කදිම තෝතැන්නකි. කොළඹ පිහිටි වඩාත් විශාලතම සහ සියලු පහසුකම්වලින් අනූන මෙන්ම සම්ප්‍රදායය සහ නූතනත්වය කැටි කර ගත් මෙම වටපිටාව සාමාන්‍ය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශනවලින් ඔබ්බට යමින් වෙනස් වූ උළෙල රැසක් සංවිධානය කිරීම සඳහා ඔබ හට අගනා විකල්ප රැසක් හිමි කර දෙයි.

    "අක්කර 42ක් පුරා විහිදුනු BMICH භූමිය තුළ එකිනෙකින් වෙනස් වූ පරිශ්‍ර 16 ක් පිහිටා තිබෙන අතර ඒවා පුද්ගලික හෝ ආයතනික විශේෂ අවස්ථා සඳහා යොදා ගත හැකියි. BMICH යන නාමය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන ලද්දේ සම්මන්ත්‍රණ, සම්මේලන සහ කීර්තිමත් සමුළු, සම්මාන උළෙල සහ සංගීත සංදර්ශන සඳහායි. අපගේ උත්සාහය මෙරට ජනතාව තුළ මෙම අගනා භූමිය පිළිබඳ ඇති එම ප්‍රතිරූපය වෙනස් කරමින්, විවාහ උත්සව, කුඩා දරුවන්ගේ උපන්දින සාද, උදෑසන හමු මෙන්ම අලුත් අවුරුදු ප්‍රිය සම්භාෂණ ආදී ඕනෑම සුවිශේෂී අවස්ථාවක් සඳහා මෙය කදිම ස්ථානයක් ලෙස ජනතාව අතරට රැගෙන යාමටයි." BMICH උළෙල සහ වෙන්කිරීම් කළමනාකාර මහේෂ් අමරසිංහ මහතා සඳහන් කළේය.

    BMICH සතු අසමසම අනන්‍යතාව, අව්‍යාජත්වය සහ ප්‍රතාපවත් බව හේතුවෙන් කොළඹ පිහිටි අනෙකුත් පරිශ්‍රවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් සිය උළෙල සඳහා භාවිතා කිරීමේ අවස්ථාව සංවිධායකවරුන් හට හිමි වේ. දිනෙන් දින වෙනස්වන අමුත්තන්ගේ, සංවිධායකවරුන්ගේ සහ ප්‍රදර්ශකයන්ගේ යටිතල පහසුකම් සහ අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් පසුවන BMICH කළමනාකාරීත්වය, වෙනත් උත්සව පරිශ්‍රවලින් ලබා ගත නොහැකි ආකාරයේ සේවාවන් රැසකින් BMICH පරිශ්‍රය සවිබල ගන්වා ඇත. එකවර පුද්ගලයන් 1600 කට අධික පිරිසක් සඳහා සේවා සැපයීමට හැකිවීම මේ අතරින් වඩාත් කැපී පෙනෙයි. මීට අමතරව, දියුණු ආලෝකකරණය, ශබ්ද පරිපාලනය සහ එකවර භාෂා 32 කින් පරිවර්තන ලබා ගත හැකි නවීන උපාංගවලින් ද මෙම පරිශ්‍රය සමන්විතය.

    කොළඹ නගරය තුළ පිහිටිය ද ඉතා නිස්කලංක සහ ස්වභාවික වපසරියක පිහිටා ඇති, දශක හතරක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන BMICH පරිශ්‍රය, ජාත්‍යන්තර සමුළු, විලාසිතා දැක්ම, රාත්‍රී භෝජන සංග්‍රහ සහ මෝටර්රථ ප්‍රදර්ශන ආදී පුළුල් පරාසයක විහිදුනු අවස්ථා රැසක් සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීමේ හැකියාවෙන් යුතු වීම විශේෂත්වයකි.

    "පුද්ගලයන් දෙදෙනෙකුගේ සිට 2000 ක් දක්වා පිරිසකට පහසුකම් ලබා දීමට අපට හැකියි. වාහන දෙදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් මෙහි නවතා තැබිය හැකියි. මෙය අප අනෙකුත් පරිශ්‍ර අතරින් වෙන් කෙරෙන ප්‍රමුඛ සාධකයක් වනවා." අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    BMICH පරිශ්‍රය මගින් ලබා දෙන සේවාවන් නැවුම් ආරකින් ඉදිරිපත් කිරීම දීර්ඝ කලෙක පටන් සිදු කෙරුණු මූලෝපායික සැලසුමක ප්‍රතිඵලයකි. "කමත" වැනි එළිමහන් පරිශ්‍ර රැසකින් ද BMICH සමන්විතවන අතර එහි පිටුපස බිම් කඩෙහි කුළුබඩු උද්‍යානයක් ආරම්භ කිරීමට ද කළමනාකාරීත්වය සැලසුම් කර ඇත.

    "ආයතනික සාද, උත්සව, උදෑසන-දිවා-රාත්‍රී භෝජන සංග්‍රහ ආදී සාමාන්‍යයෙන් හෝටල තුළ පැවැත්වෙන විශේෂ අවස්ථා වෙනුවෙන් ද අවශ්‍ය පහසුකම් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. සංවිධායකයන් රාත්‍රිය පුරා උත්සව සංවිධායක කටයුතු සිදු කරන්නේ නම් ඔවුන්ට සුවපහසුව නවාතැන් ගැනීමේ කාමර පහසුකම් ද අප ලබා දෙනවා. මෙවැනි අවස්ථා සඳහා අත්‍යවශය සාධකයක්වන ඉඩකඩ අප සතුවන බැවින් මෙහිදී අපගේ සේවාදායකයන් හට වැඩි සුවපහසුවක් හිමි වනවා." ඔහු සඳහන් කර සිටියේය.

    පූර්ව සහ පසු මාධ්‍ය හමු සහ සාකච්ඡා සඳහා BMICH පරිශ්‍රය ඉතා යෝග්‍ය වේ. ප්‍රධාන උළෙල BMICH පරිශ්‍රයේ පවත්වන්නේ නම්, මාධ්‍ය හමු සඳහා සුවිශේෂී මිල ගණන් ලබා ගැනීමට ද හැකියාව පවතී.

    ආහාර-පාන සැපයුම ඇතුළු BMICH පරිශ්‍රයේ සේවය සඳහා ම කැප වූ අත්දැකීම් බහුල කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම සහ විශ්වසනීය සේවාව ද උත්සව සංවිධායකයන් හට ලබා ගත හැකිය.

    "ඕනෑම උත්සවයක් සඳහා අමරණීය අත්දැකීමක් ලබා දීමට අප සමත්වන අතර, ඉදිරියේදී තවදුරටත් අපගේ සේවාවන් පුළුල් කරමින් ජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දීම අපගේ අරමුණයි." BMICH අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.