BOI අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ශක්තිමත් කිරීමට ජපන් සහාය

    March, 20, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. දිවයින පුරා පිහිටි අපනයන සැකසුම් කලාප දාහතර (14) තුළ ස්ථාපිත ව්‍යවසායන් 285 ක ශ්‍රමිකයන් 145,000 ක් පමණ සේවයෙහි නිරත වේ.

    මෙම කලාපයන් තුළ ශ්‍රමිකයින්ගේ සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම ඉතා වැදගත් බව හඳුනාගෙන ඇත. එබැවින්, කටුනායක, බියගම, සීතාවක, වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා එකක් ලීටර් 4000 ක ධාරිතාවයකින් යුත් ජල ටැංකි සහිත ගිනි නිවන රථ 4 ක් සහ උපකරණ කට්ටල 12 ක් ලබා ගැනීම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 300 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590) ප්‍රදානයක් ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දී ඇත. මෙම සහාය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉවහල්වන අතර, එමගින් ලබාදිය හැකි කඩිනම් ප්‍රතිචාර මගින් සිදුවන හානි අවම කර ගනිමින් ශ්‍රමිකයන් සහ දේපළ ආරක්ෂා කරගත හැකිවේ.

    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අද (20) දින මෙම වැදගත් ප්‍රදානය සනිටුහන් කිරීම සඳහා නිල අත්සන් කිරීමේ උත්සවය පවත්වන ලදි. එහිදි  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසෝමාටා මහතා විසින් ඒ සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කරන ලදී.

    ශ්‍රී ලංකා රජය විසින් ජපානය වෙත මෙම ප්‍රදානය පිරිනැමීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර සිටියි. මෙම සහයෝගීතාවය ජාතීන් දෙක අතර පවතින ශක්තිමත් සහ දීර්ඝ කාලීන සබඳතාවය තවදුරටත් සවිමත් කරන අතර ශ්‍රී ලංකාවට වඩාත් තිරසාර අනාගතයක් සඳහා මග පාදනු ලබයි.