BOV Capital ආයතනය OMAK Technologies වෙනුවෙන් ආයෝජනය කරයි

    November, 21, 2016

    තාක්ෂණය මත පදනම් වූ ශී‍්‍ර ලාංකේය අපනයන ව්‍යවසාය වෙනුවෙන් ආයෝජනය කරන මෙරට ප‍්‍රථම ශී‍්‍ර ලංකා-සිංගප්පූරු ව්‍යවසාය ප‍්‍රාග්ධන ආයතනය වන BOV Capital ආයතනය OMAK Technologies සමාගම වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත. ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ වේගයෙන් ව්‍යාප්ත වන අවන්හල් කළමනාකරණ විසඳුම් සම්පාදකයෙකු වන එම සමාගමට මේ අනුව හිමි වූ මුල්‍ය ප‍්‍රාග්ධනය රු. මිලියන 85 කි. මෙම ආයෝජනයත් සමග තමන්ට අග්නිදිග ආසියානු කලාපය තුළ සිය මෙහෙයුම් කටයුතු වඩාත් ඵලදායී ලෙස ව්‍යාප්ත කිරීමට හැකිවනු ඇති බව OMAK Technologies සමාගම පවසයි.

    ක්ලවුඞ් තාක්ෂණය මත පදනම්වන SaaS (සේවාවක් ලෙස මෘදුකාංග) විසඳුම් ලබා දෙන OMAK Technologies සමාගමේ ප‍්‍රධානත ම නිෂ්පාදනය OMAK POS 360 වේ. අවන්හලක ආදායම් වැඩි කර ගැනීම, පිරිවැය අවම කිරීම සහ අනවශ්‍ය වියදම් කපා හැරීම ආදී අවන්හලක මෙහෙයුම් කටයුතු සඳහා බලපාන සෑම පැතිකඩක් ම එමගින් ආවරණය කෙරේ. OMAK විසඳුම ශ්‍රී ලංකාවල ඉන්දුනීසියාවල මාලදිවයින සහ ඔස්ටේ‍්‍රලියාව තුළ මේ වන විට ද සාර්ථකව ප‍්‍රචලිත වී ඇති අතර නුදුරේදී එය අග්නිදිග ආසියානු කලාපය තුළ ද ව්‍යාප්ත කිරීම සමාගමේ අරමුණයි.

    තාක්ෂණික නිෂ්පාදන සහ සේවා අපනයනයේ නිරත ශී‍්‍ර ලාංකේය ව්‍යවසාය සඳහා ආයෝජනය කිරීම සහ ඊට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා පිහිටුවන ලද BOV Capital ආයතනය ඩොලර් 100,000 සිට ඩොලර් මිලියන 2 දක්වා අරමුදල් ලබා දෙයි. BOV Capital ආයතනයේ ප‍්‍රාරම්භකයන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ ශී‍්‍ර ලාංකේය ව්‍යවසාය සඳහා ආයෝජන 20 කට අධික ප‍්‍රමාණයක් සිදු කර ඇත. මෙම අසමසම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම සඳහා ව්‍යවසායකයන් හට අවශ්‍ය වටිනා උපදෙස් ලබා දීමට ද එම ආයෝජකයෝ කටයුතු කරති.

    ”BOV Capital ආයතනය ව්‍යවසාය පමණක් නොව; උසස් ගුණාංගවලින් සපිරි මිනිසුන් සඳහා ද ආයෝජනය කරන බැවින් OMAK Technologies සමාගම නියත වශයෙන් ම අපගේ නිර්ණායකවලට බෙහෙවින් අනුකූල වුණා. එම සමාගමේ කණ්ඩායම සාර්ථකත්වය වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීම ඉන්දුනීසියාව වැනි වැදගත් වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කිරීම සඳහා උපකාරී වී ඇත. මගේ හවුල්කරුවන් වන එරික් වික‍්‍රමනායක සහ රාජන් ආනන්දන් යන මහත්වරුන් ද OMAK සමාගම තවත් ඉදිරියට ගෙන යාම සඳහා මා සමග අත්වැල් බැඳ ගනු ඇතැයි මාගේ විශ්වාසයයි.” BOV Capital ආයතනයේ පොදු හවුල්කාර ප‍්‍රජීත් බාලසුබ‍්‍රමනියම් මහතා සඳහන් කළේය.

    ශී‍්‍ර ලංකාවේ සහ සිංගප්පූරුවේ කාර්යාල පිහිටා ඇති BOV Capital ආයතනය එම රාජ්‍යයන් දෙක පදනම් කර ගත් ප‍්‍රථම ව්‍යවසාය අරමුදල වන අතර තාක්ෂණික නිෂ්පාදන සහ සේවා අපනයනයෙහි නිරත ශී‍්‍ර ලාංකේය සමාගම් සඳහා ආයෝජන සිදු කරයි. එම ආයතනය සිංගප්පූරුව තුළ ගොඩනගාගෙන ඇති සවිමත් ජාලය හේතුවෙන් ශී‍්‍ර ලාංකේය අංකුර ව්‍යවසායකයන් හට කලාපීය සහ ගෝලීය වශයෙන් වර්ධනය වීම සඳහා මනා පිටිබලයක් ලබා දීමේ හැකියාව එම ආයතනය සතුය. ඒ අනුව, වර්ධනය වීම සඳහා පුළුල් අවකාශයක් පවතින අංකුර ව්‍යවසාය වෙනුවෙන් ආයෝජන සිදු කරමින් හැකි සෑම ආකාරයකින් ම ඔවුන් ජාත්‍යයන්තර මට්ටමට ඔසවා තැබීමට BOV Capital ආයතනය කටයුතු කරයි.

    BOV Capital ආයතනයේ ප‍්‍රාරම්භකයන් සහ Indian Angel Network ජාලය එක්ව 2012 වසරේදී ගොඩනගන ලද Venture Engine පදනම (www.ventureengine.lk) ශී‍්‍ර ලාංකේය අංකුර ව්‍යවසායකයන් හට ඉදිරි පියවරක් තැබීමේ අවස්ථාව හිමිකර දෙයි. තවද, ආයෝජන දූත කණ්ඩායමකින් සහ පුද්ගලික ආයෝජකයන්ගෙන් සමන්විත Lankan Angel Network ජාලය ද ස්ථාපනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ එම ආයතනය ඒ හරහා වේගයෙන් වර්ධනය හැකියාව ඇති, අංකුර ව්‍යවසාය සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබා දීමට කටයුතු කරයි.