June, 24, 2016
Brexit හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න පිළිබඳව පැවති ජනමත විචාරණයේ දී 52% ක බහුතර බ්‍රිතාන්‍ය වැසියන්ගේ මතය වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී නොසිටිය යුතු බවටයි.
මෙම වාතාවරණය තුළ ලොව පුරා වෙළෙඳපොළ ගණනාවක් අද දිනය තුළ දී කඩා වැටී තිබෙන අතර ඒ අතුරින් විශාල බලපෑමක් වී ඇත්තේ ජපාන වෙළෙඳපොළටයි. අද උදෑසන ජපානයේ ටෝකියෝ කොටස් වෙළෙඳපොළ Nikkei දර්ශකය 7.82% කින් පහළ ගොස් තිබෙන අතර එය පසුගිය වසර 5 පුරාවට වාර්තා කරන ලද විශාලම කඩා වැටීම ලෙසින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී යුරෝපානු වෙළෙඳපොළ වෙත දැඩිව යොමු වී තිබූ සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එහිදී හිටාචි 10.85% ක්, Dentsu 11.76% ක් හා නිසාන් මෝටර් 9.21% ක් පරිද්දෙන් කොටස් මිල ගණන් පහළ ගොස් ඇත.
මේ අතර හොංකොං කොටස් වෙළෙඳ පොළ ද 4.86% කින් අද උදෑසන වන විට පහළ ගොස් තිබුණු අතර ස්ටෑන්ටර්ඩ් චාර්ටඩ් පීඑල්ස් 10.89% ක් හා HSBC Holdings PLC 10.73% ක් වශයෙන් කොටස් මිල පහළ ගොස් තිබුණි.
මේ අතර අද පෙරවරු 11.20 පමණ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ද 0.41% කින් පහළ වැටී තිබිණි.
(මෙම සියලු දත්ත අද (24) දින ගනුදෙනු අතරවාරයේ දී ලබා ගත් ඒවාය.)