Catch Me If You Can – විමල්

    March, 18, 2021

    ශ්‍රී ලංකාවේ නීති සැකසී ඇත්තේ නව නිපැයුම්කරුවන් හට ඉදිරියට ඒමට නොව ඔවුන් අධෛර්යමත් කිරීමට බවත්, මෙම නීති වෙනස් විය යුතු බවත්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (18) කොළඹ පැවති උත්සවයක දී ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන හඳුන්වාදීමේ උත්සව අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා,

    “සාමාන්‍යයෙන් අපේ රටේ තරුණයෙක් ගිනි අවියක් ස්වඥාණයෙන් නිෂ්පාදනය කළොත්, පොලිසියෙන් අල්ලගෙන ගිහිං හිරේ දානවා. ගුවන් යානයක් තමන්ගේ හැකියාවෙන් හදලා අහසේ යැව්වොත්, පොලිසියෙන් අල්ල ගන්නවා, හිරේ දානවා. ඒ නීති හදලා තියනේනේ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට එන්න නෙමෙයි, නව නිපැයුම්කරුවන් හිරේ දාන්න පුළුවන් වෙන විදියට. මේවා වෙනස් වෙන්න ඕනේ.“

    “ඔබ බලලා ඇති Catch Me If You Can කියන චිත්‍රපටිය. ඒක සත්‍ය සිදුවීමක් ඇසුරු කොට නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. ලෝකයේ ඒ වකවානුවේ විශාලම හොරකමක් කරපු පුද්ගලයෙකුගේ චරිතය වටා ගෙතිච්ච සිනමා පටයක්. ඔහු ඒ කාලයේ ඩොලර් මිලියන 2.5 ක හොර චෙක්පත් ගනුදෙනු කරලා මුදල් උපයලා තියෙනවා. මේ තරුණයාව අන්තිමට හිරේ දානවා වෙනුවට වුණේ, ඒ තරුණයාව FBI එකට බඳවා ගත්තා. මොකද ඒ තරම් සූක්ෂම ඥාණයක් තියෙන මිනිහෙක් FBI එකට වටිනවා. හොරා කියලා හංවඩුවක් ගහලා හිරේ දාලා අත පිහදා ගත්තේ නැහැ, ඒ ඥාණයෙන්, ඒ දක්ෂතාවයෙන් රාජ්‍යයට අවශ්‍ය සේවාව ලබා ගන්න සුදුසුම ස්ථානය FBI  එක. FBI එකට ඒ තරුණයා බඳවා ගත්තා.“

    “නීති පොතේ මොන තර්ක තිබ්බත්, මේ නව නිපැයුම්කරුවන් දෙස සාධාරණය බලන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරියට ගෙන ඒම සඳහා කැපවීම සමාජයක් ලෙස අපේ වගකීමක්.“