CDB විශිෂ්ටත්වයට SLIM සන්නාම විශිෂ්ටතා උළෙලේදී ඉහළ පිළිගැනීමක්

    November, 21, 2016

    තම විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා පැවැති 2016 SLIM Brand Excellence (සන්නාම විශිෂ්ටතා) සම්මාන උළෙලේදී රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය (CDB) සමත්විය. ඉහළ ගුණාත්මක බවකින් යුතු පාරිභෝගික සේවා සම්පාදනය පිළිබඳ CDB හි අඛණ්ඩ අවධානය පිළිබිඹු කරමින් වසරේ විශිෂ්ටතම සේවා සන්නාමය සඳහා වන රිදී සම්මානය ද ප්‍රජා සුබසිද්ධිය කෙරෙහි කැපවීම පෙන්නුම් කරමින් වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සඳහා වූ රිදී සම්මානය ද මෙසේ CDB වෙත හිමිවිය.

    CDB හි ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ හා ප්‍රධාන ණය නිලධාරී සෂීන්ද්‍ර මුණසිංහ මහතා මෙසේ පැවසීය. “අපගේ සේවා ක්ෂේත්‍රය ඉතාම තරගකාරීයි. ඒ වගේම හොඳින් ස්ථාපිත වුණු ආයතනික සන්නාම රැසක් මේ ක්ෂේත්‍රය තුළ තිබෙනවා. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ හා වෙනත් සේවා අංශ රැසකින් සමන්විත තරගකාරී කාණ්ඩයන් අතුරින් 2016දී රිදී සම්මාන දෙකක් දිනාගැනීමට හැකිවීම CDB ලැබූ විශාල ජයග්‍රහණයක්. ඇත්තෙන්ම පාරිභෝගික සේවා සම්පාදනයේදී අපි උපරිම කණ්ඩායම් හැඟීමකින් කටයුතු කිරීම තමයි සාර්ථකත්වයේ රහස. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රැඳී සිටින සුදක්ෂම කණ්ඩායමක් අපි සතුයි. මෙම සේවා කාණ්ඩයේ රිදී සම්මානයත් ආයතනික සමාජ සත්කාර සේවා කාණ්ඩයේ රිදී සම්මානයත් අපේ සේවාවන්හි විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා”.

    “හුදෙක් ව්‍යාපාරකරණයෙන් එහා ගොස් මූල්‍ය සේවා පුළුල්කරණයෙන් හා ආයතනික සමාජ සත්කාර ඔස්සේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අභිලාෂයක් CDB සතුයි. එහිදී අධ්‍යාපනය, සෞඛ්‍යය, පාරිසරික ආදී විවිධ අංශ ඔස්සේ අපි දායකත්වය සපයා දී තිබෙනවා. ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් හා ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ මෙවැනි ආයතනික සමාජ සත්කාර සඳහා ලද මෙම පිළිගැනීම ඇත්තෙන්ම ධෛර්යය උපදවන සුළුයි” ඔහු කියා සිටියේය.
    CDB දැක්ම වන්නේ ව්‍යවසායකත්ව නවෝත්පාදනය හා වෘත්තීමය නිපුණත්වය තුළින් රටේ ආර්ථිකය ගොඩනඟමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස කටයුතු කිරීම ය. මෙම දැක්ම ඔස්සේ, අඛණ්ඩ සේවා ප්‍රමිති වර්ධනයක් පවත්වාගැනීමටත්, නවොත්පාදන හා නවීනතම තාක්ෂණ භාවිතයෙන් අලුත් නිෂ්පාදන හඳුන්වාදීමටත් නිරතුරුව ක්‍රියා කෙරේ.

    විශේෂයෙන්ම මූල්‍ය අන්තර්කරණය ට මුල්තැන දී ග්‍රාමීය ආර්ථික සංවර්ධනයෙහි ලා ප්‍රමුඛ කාර්යභාරයක් CDB විසින් සිදුකරනු ලබයි. එනිසා මෙම රිදී සම්මාන තුළින් හුදෙක් CDB යනු මූල්‍ය ආයතනයක් පමණක් නොව සමස්ත සේවා අංශයම තුළ පැතිර ගත් ආයතනික සන්නාමයක් යන පිළිගැනීම හිමිව තිබේ.

    තම පාර්ශ්වකරුවන් හා ගනුදෙනුකිරීමේදී පාරිභෝගික සබැඳියාව වෙත හිමිවන අවධානය සහතික කරමින් ලැබුණු මෙම සම්මාන ගැන තවදුරටත් අදහස් දක්වමින් මුණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. “වෙළෙඳපොළ නවෝත්පාදනය හා වටිනාකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අපගේ උපාය මාර්ගික අවධානය සහ කැපවීම නිසා මෙවන් අතිශය තරගකාරී ව්‍යාපාර පරිසරයකදීත් අපි ඉතා ශක්තිමත්. දීප ව්‍යාප්ත ශාඛා 69ක් හා ප්‍රමුඛතම ATM ජාලයක් සමග මෙම සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් අප සැදී පැහැදී සිටිනවා. විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා මූල්‍ය විසඳුම් නිර්මාණය කරමින් අප ලබාදෙන්නා වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් ඔවුන් හා දැඩි සබඳතාවකටත් මඟ විවර වී තිබෙනවා”.

    වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උළෙල මෙරට වැදගත් කාර්යසාධනයක් පෙන්නුම් කරන ව්‍යාපාර ආයතන නිසි ඇගයීමකට ලක්කරන අතර ඒ ඒ ව්‍යාපාර අංශයන්හි විශිෂ්ටයින්ට සම්මාන පිරිනමමින් මේ වනවිට වෙළෙඳ ක්ෂේත්‍රයේ විශිෂ්ට නිෂ්පාදන හා සේවා සඳහා වන ප්‍රමිතිය බවටද පත්ව තිබේ.