October, 19, 2016
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමය (SLACD) හා එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි ඕටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. ඕටිසම් තත්ත්වය කල් තියා හඳුනාගැනීමත් නිසි අවධානයට ලක්කිරීමත් තුළින් එකී තත්ත්වය සහිත සෑම දරුවෙකුගේම ජීවිතවලට ඉන් සිදුවිය හැකි අහිතකර බලපෑම අවම කරගැනීමට ඉඩ සලස්වා දීම මෙහි අරමුණ වී තිබේ. මෙම ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය පැවැතියේ CDB ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ය. ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමය හා එක්ව සිදුකරන මෙම වැඩසටහන තම 20 වැනි සංවත්සරයට සමගාමීව CDB විසින් දියත් කෙරෙන ප්‍රමුඛතම ආයතනික සමාජ සේවා සත්කාරයවේ. වැඩසටහනට සමගාමීව ඕටිසම් භාරකාර අරමුදලක් (Autism Trust Fund) ද පිහිටුවීමට බලාපොරොත්තු වන අතර ඒ හරහා මෙම ව්‍යාපෘතියේ තිරසාරත්වය අරමුණු කෙරේ.
ඕටිසම් තත්ත්වයේ පවතින සංකිර්ණත්වය හා ඕටිසම් සහිත දරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ද කරුණු අවධාරණය කළේය. “ඕටිසම් සහිත සෑම දරුවෙක් ගැනම අපි සැළකිලිමත් විය යුතුයි. ඔවුන්ව කල් තියා හඳුනාගැනීම තුළින් සියලු දරුවන් සාර්ථක පුරවැසියන් ලෙස සමාජයට එකතු කරගත හැකියි” යනුවෙන් ඔහු අදහස් දැක්වීය.
ඕටිසම් තත්ත්වය නිසා සමාජයේ වෙනත් පුද්ගලයන් සමඟ සන්නිවේදන කටයුතු හා සබඳතා ගොඩනඟාගැනීමේදී විවිධ ගැටලු පැන නඟින අතර වාර්තා වී ඇති අන්දමට සෑම දරුවන් 93දෙනෙකුගෙන්ම එක් අයකුට ඕටිසම් තත්ත්වය තිබිය හැකිය. එහිදී ගැහැණු ළමුන්ට සාපේක්ෂව ඕටිසම් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ පිරිමි ළමුන්ට බව ද කියැවේ. ළමා මානසික රෝග විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය පැවසූයේ, මෙම සියලු ළමුන්ට වර්ධනය වීමට අවකාශය සැලසීම අතිශය වැදගත් බව යි. ළමයෙකුගේ වයස අවුරුදු දෙකට පෙර කාලය තුළදී ඕටිසම් හඳුනාගනීනම් ළමයාගේ බුද්ධිමය, හැසිරීම් සහ අන්තර් පුද්ගලමය සංවර්ධනය ක්‍රමානුකූලව ගොඩනැංවීමේ ධනාත්මක හැකියාවක් පවතී.
CDB හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා ද මෙම අවස්ථාවට එක් වෙමින් ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට CDB එක්වීමේ හේතු සාධක පැහැදිලි කළේය. “මෙම ස්නායු සංවර්ධනයට අදාළ සංකූලතා තත්ත්වය ළමයෙකුට උපතේදීම ඇතිවුව ද එම තත්ත්වය බැහැරට පෙන්නුම් කිරීමට පටන් ගන්නේ ළමයාගේ වර්ධනයත් සමගයි. එනම් සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී හා භාෂාව හැසිරවීමේදී ළමුන් දක්වන අපහසුතාවය, පසුබෑම තුළිනුයි. මෙහිදී දෙමාපියන්ට පැවරෙන වගකීම වන්නේ, හැකි තාක් ඉක්මණින් මෙම ලක්ෂණ හඳුනාගෙන නිසි සෞඛ්‍ය සේවා වෙත දරුවා යොමුකිරීමයි. නමුත් ශ්‍රී ලංකාවේ දෙමාපියන් තුළ මෙම තත්ත්වය සම්බන්ධව ඇති දැනුවත්කමේ මඳ භාවය හේතුවෙන් එය කල්තබා හඳුනාගැනීමත් නිසි කලදී නිසි ප්‍රතිකාර ලබාදීමත් ප්‍රමාද වෙනවා” නානායක්කාර මහතා කීය.
ශ්‍රී ලංකාව තුළ ඕටිසම් තත්ත්වය පිළිබඳව දක්වන නොදැනුවත්භාවය මෙවැනි සමාජ සේවා සත්කාරක ව්‍යාපෘතියකට එක්වීමට හේතු වූ බව ද මහේෂ් නානායක්කාර මහතා පැවසීය. “දැනුවත් කිරීම් තුළින් ඕටිසම් කල් තබා හඳුනාගැනීමට මඟපාදනවා වගේම අවසානයේදී දරුවාගේ ක්‍රියාකාරීත්වයේ ධනාත්මක වර්ධනයක් සිදුවෙනවා. ඒ සමගම ඕටිසම් තත්ත්වය පිළිබඳව සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාව දැනුම්වත්වීමත් යහපත් තත්ත්වයක්” හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමය යනු වෛද්‍යවරුන්, සායනික මනෝ චිකිත්සකවරුන්, කථන/ වෘත්තීය/ භෞත චිකිත්සකවරුන්, සමාජ සේවා නිලධාරීන්, ගුරුවරුන් හා අධ්‍යාපන විශේෂඥයින් ද ඇතුළු ළමා සංවර්ධනයට සමීප සම්බන්ධයක් දක්වන වෘත්තීකයන්ගෙන් සැදුම්ලත් ළමා සංවර්ධනය වෙනුවෙන්ම කැපවූ පළමු බහු විෂයීය වෘත්තීය සංගමය ලෙස හැඳින්විය හැක. ‘ඕටිසම් සඳහා කල් තබා පෙළගැසෙමු’ (Act early for Autism) යන තේමාවෙන් CDB හා එක්ව ළමා සංවර්ධන සංගමය විසින් ඕටිසම් පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ එය මේ මොහොතේ සමාජයීය අවශ්‍යතාවක්ව මතුව ඇති හෙයිනි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමයේ සභාපතිනී වෛද්‍ය සමන්මාලි සුමනසේන මහත්මිය පැවසූයේ, ඕටිසම් කල්තබා හඳුනාගනිමින් එම තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ හැකියාවන් විවර කරගැනීමට සියලු දෙනා කැපවිය යුතු බව ය.“අපි සැලසුම් කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන් අතර ඕටිසම් ගැන දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කිරීමටයි. ඒ හරහා ඕටිසම්භාරකාරීත්ව අරමුදලක් පිහිටුවීමට ප්‍රතිපාදන ලබාගැනීමටත් අපේක්ෂා කරනවා” යැයි ඇය විස්තර කළාය.
මෙම ඕටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට මාධ්‍ය ද පුළුල් ලෙස සම්බන්ධ කරගැනීමට අදහස් කරගෙන ඇත. විශේෂයෙන්ම ඕටිසම් තත්ත්වයට අදාළ ලක්ෂණ හා ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීම තුළදෙමාපියන්ට හා පවුලේ සෙසු සාමාජිකයන්ට, දරුවන්ගෙන් මතුවන ඕටිසම් ලක්ෂණ මුල් අවධියේම හඳුනාගෙන ඒ ගැන සැළකිලිමත් වී ඉක්මණින් සෞඛ්‍ය සේවා සඳහා ඔවුන් යොමුකළ හැකි වේ. තවද ඕටිසම් හා සම්බන්ධ ඕනෑම තොරතුරක් විමසීම සඳහා 0117490000 දුරකතන අංකය ඔස්සේ උපකාරක සේවාවක් ද පිහිටුවෙන අතර ඒ හරහා අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමත් වුවුමනා අවස්ථාවකදී දිස්ත්‍රික් මට්ටමින් පවතින විශේෂ සේවාවන් සඳහා යොමු කිරීමත් සිදුකෙරේ. ඕටිසම් පිළිබඳ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් සිදුකෙරෙන මෙම වැඩසටහන වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් ද පොත් පිංචක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
සේයාරුව - ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ජේකබ් කුමාරේසන් මහතා, ශ්‍රී ලංකා ළමා සංවර්ධනය සඳහා වූ සංගමයේ සභාපතිනී වෛද්‍ය සමන්මාලි සුමනසේන මහත්මිය, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මය, CDB කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා සහ ළමා මානසික රෝග විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්ව සිටි අයුරු.
Video Story