CDS ආයතනය ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයෙහි 25 වන වසර සමරයි

    September, 2, 2016

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1991 හි ස්ථාපිත කරන ලදුව අද දිනයේදී සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි.

    මෙම අවස්ථාව උත්කර්ෂවත් ලෙස සමරනු වස්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති තිලක් කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන, ආසියා පැසිපික් කලාපීය මධ්‍යම තැන්පතු ක්‍රම හවුලෙහි (ACG) සභාපති මුහම්මද් හනීෆ්, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සීනුව නාද කර දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ උත්සවයක් සංවිධානය කෙරුණි. කොළඹ කොටස් වෙළෙඳපොළහි අධ්‍යක්ෂවරුන් වන රේ අබේවර්ධන මහතා, අසංග සෙනෙවිරත්න මහතා, අරවින්ද පෙරේරා මහතා, ජීවා නීරීඇල්ල මහත්මිය, කොළඹ කොටස් වෙළෙඳපොළහි ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහතා සහ ප්‍රාග්ධන වෙළෙදපොළ නියෝජනය කරමින් සාමාජික තැරැව්කාර ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, භාරකාර හා බේරුම්කරණ බැකු නියෝජිතයින්, සමාගම් ලේකම්වරුන්, සමාගම් රෙජිස්ට්‍රාර්වරුන්, සහ කොළඹ කොටස් වෙළෙඳපොළ කළමණාකාරිත්වය ඇතුළුව විද්වතුන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී විනි.

    මධ්‍යම තැන්පතු ක්‍රමය ස්ථාපනය කරන ලද්දේ දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ සුරැකුම්පත් නිෂ්කාශනය, ගනුදෙනු සිදුකිරීම හා සුරැකුම්පත් සුරක්ෂණය ආදී විශේෂිත අරමුණු රැසක් පූරණය කිරීමේ අරමුණ පෙරදැරිවය. වර්තමානයේදී ඉහත මූලික කාරනා වලට අමතරව විද්‍යුත් මෙහෙයුම් කටයුතු, ගිණුම් සේවා, සාංගමික ක්‍රියාකාරකම් වලට අදාළ සේවා හා ගනුදෙනු කරුවන්ට අදාළ නිෂකාෂණ හා බේරුම්කරණ සේවාද සිදුකරනු ලබන්නේ නොකඩවා සිදු කරන ලද තාක්ෂණික වර්ධනයන්, නව්‍යතාවයන් අනුගමනය කිරීම ආදිය නිසයි.

    “USAID හි ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණු CDS ආයතනය ආසියානු කලාපයටම විශේෂත්වයක් හිමිකර දෙනු ලැබීය. ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉදිරියට ගෙනයාම සඳහා CDS ආයතනය විදහා දැක්වු අඛණ්ඩ ස්ථාවර වර්ධනය මහත් පිටුවහලක් වී තිබෙනවා. ඉදිරියේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව ජාත්‍යන්තර මට්ටමේ කොටස් හුවමාරුවක් ලෙස වර්ධනය වන අවස්ථාවේ දී CDS ආයතනය ලෝක මට්ටමේ තැන්පතු ආයතනයක් ලෙස වර්ධනය වනු ඇති බව විශ්වාසයි” යනුවෙන් මේ පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා පැවසීය.

    ආසියා පැසිපික් කලාපීය මධ්‍යම තැන්පතු ක්‍රම හවුලෙහි (ACG) සභාපති මුහම්මද් හනීෆ්, මහතා අදහස් පළකරමින් මෙම අවස්ථාවට සුබ පැතුම් එක්කළ අතර වසර 25ක කාල සීමාව තුලදී CDS ආයතනය තාක්ෂණික දියුණුවට අමතරව සිය වගකීම් හා වගවීම් මනාව වටහාගෙන ආසියානු කලාපයටම ආඩම්බරයක් එක්කර ඇති බවද සඳහන් කළේය.

    උත්සවයට එක්වෙමින් අදහස් පලකළ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වජිර විජේගුනවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, සාම්ප්‍රදායික මධ්‍යම තැන්පතු ක්‍රමයන්හි ක්‍රියාකලාපයන්ගෙන් බැහැරව අතිශය සුවිශේෂී භූමිකාවක් නිරූපණය කරන CDS ආයතනය පිරිවැය අවම කිරීමේ ක්‍රමවේදයන්, ආයෝජකයින්ගේ වත්කම් සුරක්ෂණය ආදියේදී කැපී පෙනෙන කාර්භාරයක් ඉටු කරන බව පැවසීය.

    ඡායාරූපය - නලීන් ෆොන්සේකා - මධ්‍යම තැන්පතු ක්‍රම ප්‍රධානී, රේණුක විජේවර්ධන - CSE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, රජීව බණ්ඩාරනායක - CSE ප්‍රධාන විධායක නිලධාරි, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි සභාපති තිලක් කරුණාරත්න, වජිර කුලතිලක - CSE සභාපති, ආසියා පැසිපික් කලාපීය මධ්‍යම තැන්පතු ක්‍රම හවුලෙහි (ACG) සභාපති මුහම්මද් හනීෆ්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන, නදීර අතුකෝරල මහතා - මධ්‍යම තැන්පතු ක්‍රම සහායකරු