Ceyline Group සහ Lion Brewery ගබඩා කිරීම‌ සහ බෙදාහැරීම සම්බන්ධ පරිසර හිතකාමී මධ්‍යස්ථානයක් ඉදිකරමින්, තිරසාර පාරිසරික ඉලක්ක සපුරාගැනීමට අත්වැල් බැඳගනියි

    May, 5, 2025

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාවුක හා  භාණ්ඩ ප්‍රවාහන සමාගම් සමූහය වන Ceyline හි, එම සේවාවන් සම්බන්ධ සම්පූර්ණ විසඳුම් සපයන සමාගමක් වන Ceyline Total Solutions විසින්, Lion Brewery හි, මුල්ම තිරසාරත්වය අරමුණු කරගත් ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය දින 100 ක කාලයක් ඇතුළත ඉදිකරන ලදී.

    තංගල්ලේ ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය පාරිසරික වගකීම සම්බන්ධයෙන් එම සමාගම් දෙක දක්වන ප්‍රබල කැපවීම පෙන්නුම් කරන මධ්‍යස්ථානයකි. එම ගොඩනැගිල්ලේ අඩක්ම නැවත ප්‍රයෝජනයට ගන්නා ලද කන්ටේර් බහාලුම් භාවිත කරමින් ඉදිකර ඇති අතර, ඒ‌ හේතුවෙන් බහාලුම් අපද්‍රව්‍ය ලෙස පරිසරයට එක්වීම මෙන්ම, කාබන් විමෝචනයද  අඩු කෙරේ. මෙම ව්‍යාපෘතිය, Ceyline හි තිරසාර ජීවන අවකාශයන් සඳහාම වූ “Out of the Box” සන්නාමය මඟින් ක්‍රියාත්මක කරන ලද්දකි. මෙම පරිසර හිතකාමී ගොඩනැගිල්ලෙහි ඇතුළත නිමාව සඳහා, ප්‍රතිචක්‍රීකරණය කළ හා බීර නිෂ්පාදනය සඳහා වරක් භාවිත කර ඉවතලන ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන්, තිරසාරත්වයද පිරිවැය කාර්යක්ෂමතාවයද උපරිම කරයි. මෙම මධ්‍යස්ථානයෙහි මෙහෙයුම් කටයුතු, සුපිරිසිදු හරිත බලශක්තියෙන් බලගැන්වීම සහතික කරනු වස්, සූර්ය පැනල සවි කිරීමටද පියවර ගන්නා Ceyline, මේ වන විටත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.

    Lion Brewery, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන forklifts රථ භාවිතය පමණක් නොව, වැසි ජලය එක්රැස් කිරීම සහ බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණය ආදිය එක් කිරීම තුළින්, සමාගමේ කාර්යක්ෂම හා පරිසර හිතකාමී සැපයුම් දාමයක් ස්ථාපිත කිරීමේ මෙහෙවර තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරයි.

    සමාගම් දෙක අතර මෙම සහයෝගීතාවය, මෙරට ප්‍රමුඛ පෙළේ හරිත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පමණක් ඉවහල් වූවක් නො‌වේ. ශ්‍රී ලංකාවේ ගබඩා කිරීම් සම්බන්ධ තිරසාර විසඳුම් පිළිබඳව නවතම මිණුම් ලකුණු සනිටුහන් තැබිමටද මෙම සහයෝගිතාව ඉවහල්ව තිබේ. ඒ හරහා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සංවර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වන, නවෝත්පාදන සඳහා වූ සහයෝගීතාවයේ බලයද මේ හරහා පෙන්නුම් කෙරේ.

    Lion Brewery සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති (බාහිර ප්‍රවාහන), කවීන් ගයාත්ම මහතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම ව්‍යාපෘතිය අපගේ නිෂ්පාදන වෙළෙඳ ‌පොළ කරා යොමු කරන සුවිශේෂී ‘route-to-market’ ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කරන්නක්. මෙම සංකල්පය ගොඩනැගීම, එය සැලසුම් කිරීම හා  නිර්මාණය කිරීම සඳහා වූ අපගේ සාමූහික ප්‍රයත්නය හේතුවෙන් අවසානයේදී එය සුවිශේෂී ඉදිකිරීමක් බවට පත් වුණා. මෙම ඉදි කිරිම තුළින් පාරිසරික කළමනාකාරිත්වය වගේම තිරසාරත්වය පිළිබඳව සමාගමේ නොසැලෙන කැපවීම පැහැදිලිව විදහා දැක්වෙනවා. ඒ, මේ හරහා අපගේ මූලෝපායික අරමුණු වඩාත් ප්‍රායෝගිකව, පිරිවැය කාර්යක්ෂමතාවයෙන් යුතුව සපුරා ගන්නා අතරේයි.”

    Ceyline සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ චතුර ලකිඳු මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. “1985 වස‌රේ සිටම, අපි නාවුක හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවෝත්පාදන සඳහා නායකත්වය දී තිබෙනවා. Lion Brewery සමඟ අප පවත්වා‌ගෙන යන සහයෝගිතාවය, පරිසර හිතකාමී විසඳුම් නිර්මාණය කිරීමට වගේම, මෙවැනි සහයෝගිතාවන් හරහා ශ්‍රී ලංකාව පුරාම තිරසාර භාණ්ඩ ප්‍රවාහනය දිරිමත් කිරීමට සහ සම-සහයෝගිතාවයෙන් යුතු විසඳුම් පිරිනැමීමට ඇති කැපවීම විදහා දැක්වෙනවා.”

    Supply Chain Solutions හි සාමාන්‍යාධිකාරී ප්‍රභාත් කරුණාරත්න මහතා සිය අදහස් පළ කළේ මෙසේයි. “මෙම ව්‍යාපෘතිය Ceyline සහ Lion Brewery යන සමාගම් දෙකටම වැදගත් ජයග්‍රහණයක්. ක්ෂේත්‍රය වඩාත් පරිසර හිතකාමී අනාගතයක් වෙත මෙහෙයවීමට අප තුළ පවතින  කැපවීම අවධාරණය කරමින්, ව්‍යාපෘතියෙහි වැදගත්ම අරමුණක් ලෙසින් තිරසාරත්වය පැවතීම, අපට සුවිශාල ආඩම්බරයක්.”

    ‘Out of the Box’ හි සාමාන්‍යාධිකාරී මෙවන් සමරසේකර මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. “Out of the box කියන්නේ, කන්ටේනර් බහාලුම් නැවත භාවිත කිරීම මගින් සිදුකරන තිරසර ජීවන අවකාශයන් පිළිබඳව මුළුමනින්ම අවධානය යොමු කරන සන්නාමයක්. ප්‍රතිචක්‍රීකරණය මගින් පාරිසරික අපද්‍රව්‍ය අවම කරමින්, ඉතාමත් කෙටි කාලයකින්, ගුණාත්මකභාවය ඉහළින්ම පවත්වා ගනිමින් මෙම තිරසාර ඉදිකිරීම් සම්බන්ධ විප්ලවය අපි සිදු කරනවා. මෙම සුවිශේෂී ඉදිකිරීම, දින 100ක් වැනි කෙටි කාලයකින් නිමකර භාර දීමට හැකි විම, අප ඉතාමත් සතුටට පත්වන කාරණයක්.”

    Ceyline, පාරිසරික, සමාජීය හා පාලන (ESG) අරමුණු ඔස්සේ මෙහෙයවනු ලබන, භාණ්ඩ බෙදාහැරීමේ පූර්ණ විසඳුම්වල පෙරමුණෙහි පසුවීමට දැනටමත් සූදානම් අතර, Lion Brewery සමඟ පවත්වාගෙන යන සහයෝගිතාවය, ඒ සඳහා වන අනෙකුත් සහයෝගීතාවයන්ටද ආදර්ශයකි.