චීන සුරූපිණියන් රොත්තක් ලංකාවට

    July, 23, 2014

    ලංකාවට වඩ වඩාත් චීන සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස චීන විශ්ව රූ රැජිණ තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබූ රූ රැජිණියන් 23 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

    කොළඹදී පැවති මාධ්‍ය හමුකදී දැනුම් දුන්නේ මෙම චීන රූ රැජිණියන් 23 දෙනා ලබන අගෝස්තු 25 වනදා සිට සැප්තැම්බර් 01 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවයි.

    මෙම සංචාරය එම තරගයේ නිළ වැඩසටහනේ කොටසක් වන අතර කළාපීය තෝරා ගැනීම් වලින් පසුව චීන විශ්ව රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය ඉමහත් උත්කර්ශවත් අන්දමින් සැප්තැම්බර් 13 වනදා ෂැංහයි නුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම රූ රැජිණියන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව චීන මාධ්‍ය විසින් විශාල අවධානයක් යොමුකර තිබෙන නිසා මේ තුළින් චීන ජාතිකයින්ට ලංකාවේ සංචාරය කිරීමට ආශාවක් ඇති කිරීම අරමුණුයි.

    පසුගිය වසරේදී මෙරටට චීන සංචාරකයින් 55,000 ක් පමණ පැමිණි අතර මේ වසරේදී එම ප්‍රමාණය 2013 වසරට සාපේක්ෂව සියයට 90 කින් පමණ දැනටමත් වැඩිවී තිබීම කැපී පෙනේ.

    චීන රූ රැජිණියන් ලංකාවට රැගෙන ඒම සංවිධානය කරමින් ඒ සඳහා සත්කාරකත්වය සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සිදුකරන අතර පියාසර අනුග්‍රහය ලබාදෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි.

    මෙම කණ්ඩායම සමග පැමිණෙන එමී සම්මානයෙන් පිදුම් ලැබූ චීන ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන යූ සයි ඛාන්ට චීනය තුළ දැවැන්ත පිළිගැනීමක් තිබෙන බවත් චීන සංචාරකයින් අතර ලංකාව ප්‍රචලිත කිරීමට එයද රුකුලක් වනු ඇති බවත් සංවිධායකයෝ පවසති.

    චීන රූ රැජිණ තරගය සංවිධානය කරන්නේ යූ සයි ඛාන්ගේ නිෂ්පාදනයක් ලෙසයි.

    ලංකාවට චීන රූ රුජිණියන් රැගෙන ඒමේ වැඩසටහන පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති අජිට් ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරයට මුල් තැන දෙමින් මොවුන්ට සත්කාරක කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔවුන් ලංකාවේ සංචාරක ආකර්ශනයක් දිනාගත් ස්ථාන නැරඹීම සඳහා රැගෙන යන බවයි.

    ලොව දැවැන්තම සංචාරක වෙළඳ පොළක් වන චීනය තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් යැයි ගුණවර්ධන මහතා කීය.vlcsnap-2014-07-23-10h06m52s124vlcsnap-2014-07-23-10h09m17s115vlcsnap-2014-07-23-10h07m42s134