CIESOT සියයට 50 ක අයිතිය සේවකයින්ටද ?

    May, 28, 2014

    සෙලින්කෝ රක්ෂණ සමාගමේ සියයට 23 ක කොටස් හිමි CIESOT (Pvt) Ltd සමාගමේ කොටස් අයිතිය තිබෙන්නේ සැබවින්ම කාටදැයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකළ පරීක්ෂණය අවසන් කර එයට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසීම සඳහා යොමුකර තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    CIESOT (Pvt) Ltd සමාගමේ කොටස් අයිතිය පිළිබඳව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේ පසුගියදා එහි කොටස් අයිතිය සැබවින්ම අයිති වන්නේ කාටදැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය සුරැකුම්පත් හා විනිමය කොමිසමට නියෝග කරන ලදී.

    CIESOT (Pvt) Ltd සමාගමේ සියයට 50 ක කොටස් ලලිත් කොතලාවල මහතාට අයත් යැයි එක් තර්කයක්ද, එම සියයට 50 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ ලලිත් කොතලාවල මහතාට නොව සෙලින්කෝ රක්ෂණ සමාගමේ සේවකයින්ට යැයි තවත් තර්කයක්ද මතුව තිබේ.

    විනිමය කොමිසමේ වාර්තාවේ CIESOT (Pvt) Ltd සමාගමේ මෙම සියයට 50 ක කොටස් ප්‍රමාණයේ හිමිකමට සේවකයින්ට  අවස්ථාවක් ඇතැයි තර්ක ඉදිරිපත් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    සෙලින්කෝ රක්ෂණ සමාගමේ වැඩිම තනි කොටස් හිමිකරුවා වන්නේ CIESOT (Pvt) Ltd සමාගම වන අතර එය සතුව සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් ලක්ෂ 44 ක් තිබේ.

    CIESOT (Pvt) Ltd සමාගමේ තර්කයක් මතුව තිබෙන සියයට 50 ක කොටස් ප්‍රමාණයට අමතරව ඉතිරි සියයට 50 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ එච්.ඩී.කේ.පී. අල්විස් හා ඊ.ටී.එල් රණසිංහ යන අයටයි.

    මෙම සමාගමේ කොටස් අයිතිය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ඉදිරියේදී විනිමය කොමිසම විසින් අධිකරණයට යොමුකරන අතර මෙම කොටස්වල සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි අවසාන වශයෙන් තීරණය කරනු ඇත්තේ අධිකරණය විසිනි.

    මේ අතර, CIESOT (Pvt) Ltd හි, සභාපති ධුරයට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා පත් කරන ලදී. එම පත්කිරීම කර තිබුණේ මෙම සමාගමේ තර්කයක් මතුව තිබෙන මෙම සියයට 50 ක කොටස් ප්‍රමාණය The Golden Key Credit Card Company Limited යන සමාගමට මාරු කිරීමේ නියෝගයට අනුවයි. The Golden Key Credit Card Company Limited සමාගමේ සභාපතිවරයා ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වන නිසා නිළ බලයෙන් මෙම තනතුර ඔහුට ලැබී තිබේ.

    සෙලින්කෝ රක්ෂණ සමාගමේ සභාපති ධුරයට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත්කිරීමේ සූදානමක් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිඩ් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීම සඳහා ලලිත් කොතලාවල මහතාට අයත් දේපොළ විකිණීමට අධිකරණය නියෝග කර තිබෙන අතර CIESOT (Pvt) Ltd හි කොටස් අයිතිය පිළිබඳව තර්ක මතුව තිබෙන්නේ මෙම වාතාවරණය හමුවේයි.