July, 1, 2025
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් වන Colombo Dockyard PLC හි පාලක කොටස් අයිතිය, දැනට එහි 51% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන ජපානයේ Onomichi Dockyard Company Limited වෙතින් මිල දී ගැනීමට ඉන්දියාවේ Mazagon Dock Shipbuilders Limited තීරණය කර තිබේ.
ඉන්දියාවේ බොම්බේ කොටස් හුවමාරුවේ (BSE) සහ ජාතික කොටස් හුවමාරුවේ (NSE) ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Mazagon Dock Shipbuilders Limited, එරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය අංශයේ සමාගමකි. 1960 සිට ඉන්දියාවේ ප්‍රමුඛතම නැව් තැනීමේ අංගනය බවට පත්වීමට Mazagon Dock සමත්ව ඇති අතර අද වන විට එය ලොව පුරා ගනුදෙනුකාරභවතුන්ගේ විශ්වාසනීය ආයතනයක් බවට පත්ව ඇත.
Onomichi Dockyard Company Limited, Colombo Dockyard PLC සමාගමෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය 2024 දෙසැම්බර් 09 දින නිවේදනය කර සිටියේය. මීට සමගාමීව Onomichi Dockyard Company Limited නියෝජනය කරමින් Colombo Dockyard PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කළ T. Nakabe, K. Kobatake හා J. Furukawa යන අය ද 2024 දෙසැම්බර් 06 දින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වී තිබුණි.
වාර්තාවන අන්දමට මෙය ඩොලර් මිලියන 52.96 ක ගනුදෙනුවක් වන අතර ආසන්න වශයෙන් එය රු. බිලියන 15.8ක් පමණ වේ.
මෙම කොටස් හුවමාරුව විදෙස් රටවල් දෙකක සමාගම් දෙකක් විසින් කොළඹ කොටස් හුවමාරුව හරහා සිදුකරනු ලබන ගනුදෙනුවක් වීම විශේෂත්වයකි.

Video Story