CSE සිය 40 වන සංවසරය සමරමින් ගස් 4,000ක් නැවත රෝපණය කිරීමේ වන වගා ව්‍යාපෘතියක් අරඹයි

    September, 30, 2025

    සිය 40 වන සංවත්සරය සමරනුවස් කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සුවිශේෂී CSR ව්‍යාපෘතියක් වෙනුවෙන් ලාභ අරමුණු කර නොගත් පරිසර සංවිධානයක් වන 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. “ගස් 4,000 කින් වසර 40 සමරමු " යන තේමාව යටතේ, මෙම ව්‍යාපෘතිය මගින් දිගු කාලීන වනාන්තර සංරක්ෂණය සහ පාරිසරික තිරසරභාවය සඳහා රජවක ප්‍රදේශයේ අක්කර හතරක භූමි ප්‍රමාණයක නැවත වන වගා කිරීමට නියමිතව ඇත.

    මෙම සහයෝගිතාව හරහා කොළඹ කොටස් හුවමාරුව විසින් ශ්‍රී ලංකාවේ විනාශයට පත් වනාන්තර භූමි හෙක්ටයාර් 200,000ක් නැවත වනාන්තරගත කිරීමට අරමුණු කරගත් ජාත්‍යන්තර “බොන් අභියෝගය" ඉලක්කයට සමගාමී වන රෝප (WANAROPA) වැඩ සටහනට දායක වේ. ව්‍යාපෘති භූමිය තෙත් සහ අතරමැදි කලාපයන්ට මායිම්ව රජවක ප්‍රදේශයේ පිහිටා ඇති අතර, මෙම ප්‍රදේශය අලි ඇතුන්, දිවියන්, ස්වාභාවික මී මැසි ජනපද සහ අනෙකුත් ජීවීන්ගෙන් සහ ජෛව විවිධත්වයෙන් යුතු විවිධ පරිසර පද්ධතීන්ගෙන් පොහොසත් වේ.

    මෙම CSE CSR ව්‍යාපෘතිය මගින් බොහෝ ප‍්‍රතිලාභ හිමි වේ. ප්‍රදේශයේ වන ආවරණය වැඩි කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම මෙහි අරමුණ වන අතර, එමඟින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ ලැව්ගිනි හේතුවෙන් අහිමිවීමට ලක්වන මිලියන ගණනක සතුන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කෙරේ. මෙම පාරිසරික ප්‍රතිලාභයන්ට අමතරව මෙම ව්‍යාපෘතිය තුළින් ජල සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම, දිගුකාලීන කාබන් ප්‍රතිලාභ ලබාදීම සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ නැංවීමෙන් පස පෝෂණය කිරීම සිදු වේ. වඩාත්ම වැදගත් වන්නේ, මිනිසාගේ ක්‍රියා කළාපයන් මගින් ඇති වූ ලැව් ගිනි වලින් හානි වූ වනාන්තර යථා තත්ත්වයට පත් කිරීමට මෙය ඉවහල් වීමයි.

    මෙම වැඩසටහන මගින් ප්‍රජා මට්ටමින් වන සංරක්ෂණයේ වටිනාකම පිළිබඳ අත්‍යාවශ්‍ය අධ්‍යාපනික දැනුම ලබා දෙන අතර, එමගින් පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි වර්තමාන සහ අනාගත පරම්පරාවේ වැඩි දායකත්වයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

    මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් තම අදහස් බෙදා ගනිමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ "මෙම වන වගා ව්‍යාපෘතිය අපගේ තිරසාර ගමනේ වැදගත් පියවරක් වන බවයි. අප CSE හි 40 වන සංවත්සරය සමරන මේ මොහොතේ, පරිසරය ආරක්ෂා කිරීමට, ජෛව විවිධත්වයට සහාය වීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන පාරිසරික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට යථාර්ථ ක්‍රියාමාර්ග ගැනීමට ලැබීම ගැන අප ආඩම්බර වෙමු. මෙම ව්‍යාපෘතිය අපගේ ආයතනය සහ පුළුල් ප‍්‍රජාව තුළ තිරසාර භාවිතයන් ගොඩනැගීමට අපගේ කැපවීම පෙන්නුම් කරයි." ලෙසය.

    "මෙම උපායමාර්ගික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ එක් වීමට ලැබීම ගැන අප සතුටු වනවා. මෙය හුදෙක් ගස් රෝපණය කිරීමේ සාම්ප‍්‍රදායික ව්‍යාපෘතියක් නොව, දශක ගණනාවක් තිස්සේ ලැව්ගිනිවලින් නැවත නැවතත් බලපෑමට ලක් වී හානියට පත් කඳුකරය ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන දිගුකාලීන වැඩසටහනකි. වනජීවීන් ආරක්ෂා කරන, දේශීය ප්‍රජාවන්ට සහාය වන සහ අනාගත පරම්පරාවන් සඳහා පරිසරය ආරක්ෂා කරන සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් නැවතගොඩනැගීම වෙනුවෙන් අප එක්ව කටයුතු කරමු යයි ' වැසි වනාන්තර සුරකින්නෝ ' සංගමයේ කැඳවුම්කරු සහ ප‍්‍රධාන සංවිධායක ජයන්ත විජේසිංහ මහතා පැවසීය.

    මෙම මුලපිරීම ආයතනික සහ වෙළඳපල මට්ටම් දෙකෙහිම තිරසාරභාවය සඳහා CSE හි පවතින දැඩි කැපවීම පෙන්නුම් කරයි. මෙම දැක්මට සහාය වීම සඳහා, CSE ගෝලීය තිරසාර කොටස් හුවමාරු මුලපිරීමට සම්බන්ධ වී ඇති අතර ලැයිස්තුගත සමාගම් මගින් තිරසාරභාවය වාර්තා කිරීම වැඩිදියුණු කිරීම සඳහා GRI දකුණු ආසියාව සමඟ කටයුතු කරයි. ඒ හරහා තිරසාරභාවය සන්නිවේදනය කිරීම පිළිබඳ මාර්ගෝපදේශයක් ද හඳුන්වා දී ඇති අතර, තිරසාර බැඳුම්කර සඳහා ලැයිස්තුගත කිරීමේ රාමුවක් සකස් කර ඇති අතර, ESG දර්ශකයක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටී. උදාහරණයක් ලෙස, CSE පසුගිය වසර හත තුළ ඒකාබද්ධ වාර්තාකරණ රාමුව යටතේ එහි වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර නව ශ්‍රී ලංකා තිරසාරභාවය හෙළිදරව් කිරීමේ ප්‍රමිතීන් (SLFRS) S1 සහ S2 ස්වේච්ඡාවෙන් අනුගමනය කර ඇත.

     

    ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) CSE හි නීති නිලධාරී, උත්පලා දිසානායක මහත්මිය; ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආරක්ෂකයින්ගේ විධායක සාමාජික ජෝන් විල්සන් මහතා; ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආරක්ෂකයින්ගේ ආරම්භක සාමාජික, කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක ජයන්ත විජේසිංහ මහතා; CSE හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා; CSE හි නම් කරන ලද ප්‍රධාන විධායක නිලධාරී වින්ධ්‍යා ජයසේකර මහත්මිය; CSE හි මූල්‍ය හා පරිපාලන SVP කුසල් නිශ්ශංක මහතා; සහ CSE හි නීති, බලාත්මක කිරීමේ සහ අනුකූලතාවය SVP ශිවන්දිනී ලියනගේ මහත්මිය.