“Thirst for Life” ව්‍යාපෘතිය යටතේ තවත් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 3ක් සිංගර් ශ්‍රී ලංකා වෙතින් පිරිනමයි

    July, 17, 2016

    සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ තවත් රෝහල් 3ක පහසුකම් නංවාලයි

    ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර මෙරට රෝහල් වෙත ලබාදෙයි. රුපියල් මිලියන 7.5 ක් වටිනා මෙම යන්ත්‍ර මෙරට වකුගඩු රෝගීන්ට ආධාර කිරීම සඳහා වන “Thirst for Life” ව්‍යාපෘතිය යටතේ පිරිනමා තිබේ. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන මෙම යන්ත්‍ර 6ක් සිංගර් විසින් මේ වනවිට පිරිනමා තිබේ. මෙම CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර සිංගර් සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, වෙළඳ හා වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන, අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ යන මහත්වරු අතින් ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ වෙත පසුගියදා ප්‍රදානය කෙරිණ.

    මිල අධික මෙම යන්ත්‍රය අත්‍යවශ්‍යව තිබූ රෝහල් 3ක අවශ්‍යතාව සපුරාලමින් කොළඹ ජාතික රෝහල, වතුපිටිවල මුලික රෝහල, යාපනය මහ රෝහල යන රෝහල් සඳහා මෙම රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 3 පරිත්‍යාග කෙරිණ. මීට වසර 3කට පෙර “Thirst for Life” ව්‍යාපෘතිය අරඹමින් සිංගර් විසින් රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 3ක් පොලොන්නරුව මූලික රෝහල සහ මැදවච්චිය රෝහල යන රෝහල් සඳහා පරිත්‍යාග කෙරිණ. ඉන් යන්ත්‍ර දෙකක් 2013 වසරේ දී පොළොන්නරුව රෝහලේ ස්ථාපිත කෙරුනු අතර එක් යන්ත්‍රයක් 2014 දෙසැම්බර් මාසයේදී මැදවච්චිය රෝහල වෙත පිරිනැමීය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ මෙම වසරේ තවත් CRRT (Continuous Renal Replacement Therapy) යන්ත්‍ර 3ක් පිරිනැමීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නන්ට අත්‍යවශ්‍ය වු ප්‍රතිකාර සඳහා මෙම යන්ත්‍ර යොදාගන්නා බැවින් තවත් රෝහල් තුනකට එම යන්ත්‍ර ලබාදීමට හැකිවීම මහඟු මෙහෙවරක් බව ඒ මහතා පෙන්වා දුන්නේය. වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා සිංගර් විසින් සිදුකල මෙම මැදිහත්වීම සමස්ත සමාජයටම ආදර්ශයක් වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කළමණාකාර වරයා වන සිංගර් ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකරු දර්ශන අප්පුහාමි මහතා සඳහන් කළේ සිංගර් හි “Thirst for Life” ව්‍යාපෘතිය ජලය පදනම් කරගනිමින් හටගන්නා රෝගී තත්වයන් සම්බන්ධයෙන් ප්‍රජා සේවා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන බවයි. මෙමඟින් සමාජ සේවය සම්බන්ධයෙන් සිංගර් සමාගමේ මැදිහත්වීම තහවුරු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. පිරිසිදු හෝ පානයට සුදුසු ජලය නොමැතිවීම නිසා මෙම දරුණු වකුගඩු රෝගයට ගොදුරුවීම සිදුවන බවත් මෙම තත්වය නිසා විශේෂයෙන් උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සංඛ්‍යාව සිඝ්‍රෙයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවද ඒ මහතා පවසයි. බොහෝ රෝහල් තුළ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී අවශ්‍ය උපකරණ නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බව වටහා ගත් සිංගර් ශ්‍රී ලංකා ආයතනය එම රෝගීන් සඳහා වන ප්‍රතිකාර පහසුකම් නැංවීම සඳහා මෙම අදාල උපකරණ පිරිනැමීමට තීරණය කළ බව දර්ශන අප්පුහාමි මහතා අවධාරණය කළේය.

    නව රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර අදාල රෝහල් වෙත භාරදීමේ අවස්ථාවට එක්වෙමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි හා වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ වඩා යහපත් ආයතනයක් ලෙස මහජනතාව වෙත යහජීවන මට්ටමක් සකසා දීම සිය වගකීම කොට සලකන බවයි. එම වගකීම මැනවින් ඉටුකරමින් පිරිසිදු ජලය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ඒ සඳහා වන පහසුකම් වර්ධනය කිරීම, ආදිය මඟින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීමට දායක විය හැකි බවයි. මෙම කරුණු පදනම් කරගනිමින් මීට වසර 3 කට පෙර මෙරට වකුගඩු රෝගීන් සඳහා “Thirst for Life” ව්‍යාපෘතිය ඇරඹූ බවත් හෙතෙම සඳහන් කළේය. මේ අනුව සිංගර් වෙතින් වතුර ෆිල්ටරයක් හෝ ජල සංශෝධකයක් මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම රුපියල් 100 ක මුදලක් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා වන අරමුදලට යොමු කෙරේ.

    මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතය හා සම්බන්ධවෙමින් සිංගර් ශ්‍රී ලංකා විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා සිය සහය දක්වමින් සිටියි. අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය සහ පරිසර සංරක්ෂණය ආදී විවිධ කර්තව්‍යයන් සඳහා සිංගර් සිය සහයෝගය දක්වා තිබේ.සිංගර් හි මෙම ප්‍රජා කටයුතු සඳහා මැදිහත්වීම නිසාම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් "2015 Best Corporate Citizens Award" සම්මානය ද සිංගර් ශ්‍රී ලංකා වෙත පිරිනමා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජා සේවා සලසන ප්‍රමුඛ සමාගම් 10 අතරට සිංගර් නම් කෙරුණි.එමෙන්ම අඛණ්ඩව වසර 10ක් පුරා සිංගර් ජනතා වෙළඳ නාමයක් ලෙස අංක 1 හි පසුවෙයි.