Destination Wedding සංකල්පය ශ්‍රී ලංකාවට. එක් මංගල උත්සවයකින් ඩොලර් 250,000ක්

    April, 11, 2025

    "Destination Wedding" එසේත් නොමැතිනම් ගමනාන්ත විවාහ උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිළිබඳව මේ වන විට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා සම්මේලන ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා (09) පැවති මාධ්‍ය හමුවකදී යි.

    ඉන්දියාව, මැදපෙරදිග වැනි රටවල ජීවත් වන්නන් ඔවුන්ගේ විවාහ මංගල උත්සව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට විශාල කැමැත්තක් දක්වන බවත් එක් ඉන්දියානු විවාහ මංගල උත්සවයකින් පමණක් අවම වශයෙන් අමරිකානු ඩොලර් 250,000ක මුදලක් ඉපයිය හැකි බවත් ඔහු එහි දී පවසා සිටියේය.

    ධීර හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම සංකල්පය මෙරටට විදේශ විනිමය ඉපයීමට ඇති ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

    "මීට සුමානෙකට කලින් අපි වැඩපිළිවෙලක් සකස් කරා Destination Wedding කියන එක. නැත්නම් ගමනාන්ත පිළිබඳව තියන විවාහ උත්සව පිළිබඳව. මේ රටේ විශේෂයෙන්ම ඉන්දියාව, මැදපෙරදිග වගේ රටවල් ගත්තොතින් විශාල ඉල්ලුමක් තියනවා ලංකාවේ ඔවුන්ගේ විවාහ මංගල උත්සව පවත්වන්න, විශාල කැමැත්තක් පල කරලා තියනවා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් රටක් වශයෙන් අපිට විදේශ විනිමය උපයන්න. ඉන්දියාවේ අපිට කතා වෙච්ච අවස්ථාවක් තමයි අවම වශයෙන් අමරිකානු ඩොලර් 250,000ක් වගේ ප්‍රමාණයක්. එක ඉන්දියන් වෙඩින් එකකින් අපිට උත්පාදනය කරන්න පුළුවන් කියන එක. ඉතින් අවම වශයෙන් වෙඩින් 40ක් 50ක් වගේ අපිට මේ රටට ගෙන්න ගන්න පුළුවන් කමක් තියනවනම් ඒක වර්ධනය කරන්න විදේශ විනිමය පැත්තෙන් හොඳ අවස්ථාවක්."