July, 1, 2025
කැබිනට් අනුමැතියෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පියවර - කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ
දකුණු කොරියාවේ සෘතුමය රැකියා සදහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
මේ සදහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති අතර, එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බවද ඔහු සදහන් කරයි.
දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළකරයි.
''ජුලි මස අවසන් වන විට E-8 වීසා කාණ්ඩය යටතේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එරට ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපි සූදානම්. මේ යටතේ වසරකට යැවිය හැකි උපරිම ශ්‍රමික සංඛ්‍යාව දකුනු කොරියාවේ සෘතුමය රැකියා සදහා යොමුකිරීමට කටයුතු කරනවා. රජයෙන් පමණයි බඳවාගැනිම් සිදුකරන්නේ. පෞද්ගලික අංශයට ඒ සඳහා බඳවාගැනිමට අවසර නැහැ ''.
මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
“මේ රැකියා සදහා මෙරට මෙන්ම දකුනු කොරියාවෙත් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. මෙම රැකියා ක්ෂේත්‍රය රජය විසින් අතහැර දමා ඇති බවත් මෙය ක්‍රියාත්මක නොකරන බවටත් ඔවුන් විසින් ප්‍රචාරය කරනවා. අපි වගකිමෙන් කියනවා මෙය නතර කර නැහැ.විදිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත කිරීමට පමණයි අපි තාවකාලිකව අත්හිටුව්වේ.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අවබොධතා ගිවිසුම අත්සන් කිරීමෙන් අප එය නීත්‍යනුකූල කරනවා"
මෙම රැකියා සදහා පුද්ගලයන් බදවා ගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් සිදුකරන බවද කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. බදවාගැනීම් හා සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට කටයුකු කරනු ඇත.
Video Story