Eco Spindles සහ Green Earth සමූහය එක්ව ‘’Green Wheels” ව්‍යාපෘතිය දියත් කරයි

    December, 9, 2025

    රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ තිරසාරභාවය හා ප්‍රතිචක්‍රීයකරණ අංශවල පාර්ශවකරුවන් එක්ව සිටියේය.

    2024 ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය දත්තවලට අනුව ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 249,037ක් අපද්‍රව්‍ය ලෙස මුදා හරිනු ලබයි. එහෙත් එම ප්ලාස්ටික්වලින් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා ගනු ලබන්නේ 11%ක ප්‍රමාණයක් පමණි. මෙම පරතරය පියවා ගැනීමේ විප්ලවීය පියවරක් ලෙස Green Wheels වැඩසටහන නිර්මාණය කර ඇත. මේ සදඟා ග්‍රාමීය, නාගරික සහ පහසුකම් අවම ප්‍රජාවන්ගෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඍජුවම එකතු කර ගැනීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද විදුලි බලයෙන් ධාවනය වන බයිසිකල්  පෙළක් හඳුන්වා දීමටද ඔවුන් මෙහිදී කටයුතු කරන ලදී. VERRA සහතිකලත් මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තරව පිළිගත් විනිවිදභාවය, නිවැරදිබව හා නැවත භාවිතයට ගත හැකි ප්ලාස්ටික් සොයා ගැනීමේ හැකියාවද සහතික කර තිබීම විශේෂත්වයකි.

    වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 6500ක් එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය තුලින් ප්‍රජා අභිවෘද්ධිය ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇත. විශේෂයෙන් කාන්තාවන්, තරුණයින් සහ අඩු ආදායම්ලාභී පවුල් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ හා වර්ග කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීම තුලින් මෙරට ප්‍රතිචක්‍රීයකරණ පහසුකම් සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ස්ථාවර ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා “ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා වන ආදර්ශයක් ලෙස රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව සම්බන්ධයෙන් පළමුව මාගේ ප්‍රශංසාව පුදකර සිටිනවා. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගැටලුව රජයේ වැඩපිළිවෙල තුලින් පමණක් විසඳිය නොහැකියි. ඒ සඳහා නවෝත්පාදන, ප්‍රජා කේන්ද්‍රීය විසඳුම් අවශ්‍ය වනවා. අපගේ ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලට සහාය වීම සඳහා තාක්ෂණය, පෞද්ගලික අංශ නායකත්වය සහ බිමි මට්ටමේ සහභාගීත්වය ලබා ගත හැකි ආකාරයට හොඳම උදාහරණයක් ලෙස මෙම Green Wheels ව්‍යාපෘතිය පෙන්වා දිය හැකියි. ජීවනෝපායන් ඉහළ නැංවීමට සමත් මෙම ව්‍යාපෘතිය ප්‍රතිචක්‍රීයකරණ හැකියාව ඉහළ නංවමින් තිරසාර සංවර්ධනය ඉලක්කයන් වෙත ළඟා වීමට සහයෝගය ලබා දෙනවා.” යනුවෙන් පැවසීය.

    මේ වන විටත් ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් පොලියෙස්ටර් නූල් සහ මොනොෆිලමන්ට් නිෂ්පාදනය කරමින් ගෝලීය පිළිගැනීමට ලක්ව ඇති Eco Spindles මෙම ව්‍යාපෘතිය තුලින් එහි ජාතික එකතු කිරීමේ ජාලය තව තවත් ශක්තිමත් කරනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Eco Spindles හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්ත මාලිම්බඩගේ මහතා සඳහන් කර සිටියේ “තිරසාරභාවය තුලින් මිනිසුන්ට සැබෑ වටිනාකමක් ලබා දෙන විට එය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව අපගේ අත්දැකීම්වලින් පෙනී යනවා. ප්‍රජාව පදනම් කරගත් එකතු කිරීම් සමඟ විදුලි බලයෙන් ක්‍රියාකරන ප්‍රවාහන සේවාවක් එක් කිරීම තුලින් ප්ලාස්ටික් නැවත එකතු කර ගැනීම සඳහා කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් නිර්මාණය කිරීමට Green Wheels තුලින් හැකි වී තිබෙනවා. එසේ එකතු නොකළහොත් එම ප්ලාස්ටික් සියල්ල පිළිස්සීමට, පරිසරයට බැහැර කිරීමට හෝ ගංගා හා සාගරවලට එකතු වීමට ඉඩ තිබෙනවා. අපගේ නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අවස්ථාව ඉහළ නංවන මෙම ව්‍යාපෘතිය ජනතාවගේ ආදායම් ශක්තිය ඉහළ නංවන අතරම සමස්ත ශ්‍රී ලංකාවට සුවිසල් බලපෑමක් ඇති කරනවා.” යනුවෙනි.

    මේ වන විට ආසියාව, අප්‍රිකාව සහ යුරෝපා කලාපය පුරා පිළිගත් තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන Green Earth Group N.V මෙම ව්‍යාපෘතිය තුලින් පිළිබිඹු කරන්නේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමයන්හි කලාපීය ප්‍රමුඛයකු වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාවයි.

    මෙහිදී අදහස් දැක්වූ Green Earth Group හි සමූහ අලෙවි අධ්‍යක්ෂ සීෂාන් අලි මහතා මෙසේ පවසා සිටින ලදී. “සැබෑ පාරිසරික දියුණුවක් වෙනුවෙන් ප්‍රජා සහභාගීත්වය අත්‍යාවශ්‍ය වන බව ලොව පුරා අපගේ ව්‍යාපෘති තුලින් දැක තිබෙනවා. හරිත ප්‍රවාහන පහසුකම් මෙන්ම දේශීය නිෂ්පාදන සහ සියලු දෙනා එක් කරගත් අපද්‍රව්‍ය එකතු කිරීම ඉතා ඉහළ තත්වයකට ගෙන ඒමට Green Wheels ව්‍යාපෘතියට හැකි වනවා. Eco Spindles සහ BPPL සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ කාර්යක්ෂමතාව නැවත ලබා ගැනීමට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීමට හැකි වැඩපිළිවෙලක් හඳුන්වා දීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා.”

    දුප්පත් බව අඩු කිරීම, කාන්තාවන්ට ආර්ථික අවස්ථා බහුලව ලබාදීම, යහපත් රැකියා ශක්තිමත් කිරීම සහ වඩාත් තිරසාර අයුරින් ප්‍රජාවන්ට සහාය වීම ඇතුලු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කිහිපයකට අනුව ශ්‍රී ලංකාවේ ජාතික තිරසාර ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට Green Wheels වැඩසටහන සමත්ව සිටියි. වගකිවයුතු පරිභෝජනය හා නිෂ්පාදන ක්‍රමයන් ඉහළ නැංවීම තුලින් හා පරිසර පද්ධතියට ප්ලාස්ටික් එකතු වීම අවම කිරීම තුලින් දේශගුණික ක්‍රියාකාරකම් සහ සමුද්‍රීය හා ගොඩබිම් පරිසරයක් ආරක්ෂා කිරීමටද ඒ තුලින් හැකියාව උදා වේ. එහි පිළිගත් ණය සැලසුම මඟින් රට තුලට ස්ථාවර ලෙස විදේශ මුදල් ගලා ඒමට කටයුතු කර ඇති Green Wheels ව්‍යාපෘතිය පාරිසරික විසඳුමක් සඳහා මෙන්ම ශ්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දිගුකාලීන දායකයෙකු බවට පත්ව සිටියි.

    දිස්ත්‍රික්ක ප්‍රමුඛතාව අනුව ක්‍රිියාත්මක වන මෙම ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත් විශිෂ්ට ප්‍රතිචක්‍රීකරණ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් ලෙසද සඳහන් කළ හැකිය. ඒ තුලින් පිරිසිදු පරිසරයක් මෙන්ම ශක්තිමත් හා සංවර්ධිත ජනතාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද සහතික කරයි.