March, 12, 2026
Ericsson (NASDAQ: ERIC) සමාගම, ශ්‍රී ලංකාවේ අංක 1 සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගමේ 5G Radio Access Network (RAN) තාක්ෂණය දියත් කිරීම සඳහා එම සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ඒ අනුව, බාසිලෝනා හි පැවැත්වෙන 2026 Mobile World සම්මේලනයේදී Ericsson සමාගම සිය 5G RAN නිෂ්පාදන සහ විසඳුම් සැපයීමට නියමිතය. 3.5 GHz තරංග පථය දියත් කිරීමට අවශ්‍ය Massive MIMO අන්ටෙනාවෙන් යුතු AIR 3219 රේඩියෝ තාක්ෂණය මෙන්ම, තත්කාලීන කෘත්‍රීම බුද්ධිමය ස්වයංක්‍රීයකරණය (Real-Time AI Powered Automation) සඳහා නිර්මාණයකර ඇති Ericsson 5G ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු 5G RAN මෘදුකාංගය ද එම නිෂ්පාදන සහ විසඳුම් අතර වේ.
මෙම ගිවිසුම යටතේ Ericsson සමාගමේ Cloud Native Infrastructure Solution (CNIS) විසඳුම ද හඳුන්වා දීමට නියමිතය. ආරම්භයේදී මෙය, ක්ලවුඩ් තාක්ෂණය මත පදනම්වන Ericsson Network Manager ජාල කළමනාකරණ පද්ධතියට සහයෝගය ලබාදීම වෙනුවෙන් දියත් කිරීමට නියමිත අතර, එමගින් ජාලයට සම්බන්ධ උපාංගවල දත්ත කළමනාකරණයට ඇති උපයෝගීකර ගැනීමට ඇති හැකියාව වර්ධනය කරයි. තවද එය, ඩයලොග් සබඳතා ජාලය ක්ලවුඩ් තාක්ෂණය පදනම්කර ගත් ජාලයක් බවට පත්කරමින්, ඩයලොග් සමාගම ක්ලවුඩ්කරණය කරා යන ගමනට අත්වැලක් සපයනු ඇත. ඊට අමතරව, මෙම ගිවිසුමේ එක් අංගයක් ලෙස සේවා ස්ථාපනය කිරීමටත්, ඒකාබද්ධ කිරීමටත්, ජාලය උපරිමකරණය කිරීමටත් Ericsson සමාගම සිය සහයෝගය ලබා දීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ 5G සේවා දියත් කිරීමේ පුරෝගාමියාවන ඩයලොග්, ග්‍රාහකයින් මිලියන 1.5 ක් සම්බන්ධ කරමින් මෙරට විශාලතම 5G ජාලයට හිමිකම් කියයි.
3.5 GHz ප්‍රේක්ෂාවලිය සහිත එකම සේවා සම්පාදකයා ලෙස, පුළුල් වපසරියක් අධි ධාරිතාව සමග සම්බන්ධ කිරීමේ හැකියාව ඩයලොග් සතු වේ. 3.5 GHz තරංග පථය, දියුණු පාරිභෝගික සහ ව්‍යාපාරික භාවිතයට සහයෝගය ලබාදෙන අතරම නොවෙනස් පාරිභෝගික අත්දැකීමක් තහවුරු කරමින් විශ්වසනීය ලෙස දිවයින පුරා දෛනික 5G සේවාව ලබා දෙයි.
මෙරට 5G ආවරණය පුළුල් කිරීම, සබඳතා ජාලයේ ධාරිතාව වර්ධනය කිරීම සහ උසස් තාක්ෂණික ව්‍යවසාය විසඳුම් පිරිනැමීම සඳහා ඩයලොග් සමාගම සතු කැපවීමට මෙම ගිවිසුම මනා පිටිවහලක්වනු ඇත.
"Ericsson සමාගම සමග අප ඇතිකර ගත් සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ 5G ගමන්මග වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් වනවා. අප සේවා ස්ථාපනය කිරීමේ මීළඟ අදියර වේගවත් කරමින් සිටින මේ මොහොතේ, ව්‍යවසාය බලගන්වන, නවෝත්පාදනයට මග විවර කරන සහ මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා සබඳතාව ශක්තිමත් කරවන ඩිජිටල් යටිතල පහසුකම් වඩාත් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටිනවා," යනුවෙන් ඩයලොග් ආසියාටා සමාගමේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේය.
Ericsson සමාගමේ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ප්‍රධානී ඩේවිඩ් හේගර්බ්‍රෝ මහතා ද මෙම ගිවිසුම පිළිබඳ අදහස් පළ කළේය. "Ericsson සහ ඩයලොග් දශකයකට අධික කාලයක පටන් සවිමත් සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා. එම පදනම මත අප මෙම ගිවිසුමට එළඹ තිබෙන අතර, ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුතු, බලශක්ති-කාර්යක්ෂම රේඩියෝ විසඳුම් සහ ක්ලවුඩ් හැකියා සමගින් ඩයලොග් සමාගමේ 5G ජාලය පුළුල් කිරීමේ කාර්යයට අපගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරනවා. නව ව්‍යවසාය අත්දැකීමක් ගොඩනැගීමටත්, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනයට දායකත්වය ලබා දීමටත් අප අත්වැල් බැඳගෙන සිටිනවා."
මෙම සුවිශේෂී මෙහෙයුම හරහා, නව සේවා, ව්‍යවසාය නවෝත්පාදනය සහ අධිවේගී සබඳතාවකට ඇති පුළුල් ප්‍රවේශය තුළින් ශ්‍රී ලංකාව පුරා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම ප්‍රධානතම අරමුණයි.
Video Story