EU, ILO සහ UNOPS එක්ව මඩකලපුව, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක සඳහා මානව සම්පත් ශක්‍යතා ලබා දෙයි

    March, 1, 2016

    ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මඩකලපුව, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ කම්කරු බලඇණිය සවිබල ගැන්වීම සඳහා යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ අත්වැල් බැඳ කටයුතු කරමින් සිටියි. EU-SDDP වැඩසටහන යටතේ පුනරුත්ථාපන හා පුනර්ජීවන තත්ත්වයක් කරා ළඟා වීම සඳහා සහය ලබන ඉහත දිස්ත්‍රික්ක තුළ මෙම මානව සම්පත් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධාන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමග සහයෝගීතාවයෙන් කටයුතු කරයි.

    මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබා දෙන යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) සුවිශේෂී පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමස්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර මුදල යුරෝ මිලියන 60 කි.

    වසර ගණනක පටන් ලබා ගත් ප්‍රායෝගික දැනුමින් යුක්ත වුව ද, එම දැනුම විධිමත් ක්‍රමවේදයකට අනුව ඇගයුමට ලක්ව නොතිබීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කම්කරුවන්ගෙන් බොහොමයක් නුපුහුණු කම්කරුවන් ලෙස සැලකීම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බහුලව පවතින ගැටළුවකි. ඔවුන් පුහුණු කම්කරුවන් ලෙස ඇගයුමට ලක්ව තිබුණේ නම් ඔවුන්ට හිමිවන වේතනයට වඩා අඩු වේතනයක් මේ අනුව දැනට ඔවුන්ට හිමි වේ. මොවුන් පුහුණු කම්කරුවන් බවට පත් කළ හැකි එක් මාර්ගයක් නම්, පූර්ව අධ්‍යයන පිළිගැනීම් (RPL) ක්‍රමවේදයක් තුළින් ඔවුන් සහතික කිරීමය. බොහෝ ඉදිකිරීම් ශිල්පීන් සහ කම්කරුවන් හට මෙවැනි සහතික පිළිබඳ හෝ එවැනි වැඩසටහන් සඳහා සහභාගී වන්නේ කෙසේද යන්න පිළිබඳ හෝ අවබෝධයක් නොමැති අතර එම නිසාම වඩාත් සාර්ථක වෘත්තීය අවස්ථාවන් සහ මුල්‍ය ඉපැයුම් ද ඔවුන්ට මගහැරී යයි. ආලෝක ඉංජිනේරු මෙන්ම තොරතුරු හා තාක්ෂණ ක්ෂේත්‍රයන්ට ද මෙම තත්ත්වය පොදු වේ.

    මෙම ගැටළුවට පිළියමක් ලෙස, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම දිස්ත්‍රික්කවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට, පූර්ව අධ්‍යයන පිළිගැනීම් ක්‍රමවේදයක් තුළින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීම සඳහා අයදුම්පත් එක්රැස් කිරීමට, ඇගයුම් දියත් කිරීමට සහ සාර්ථක අයදුම්කරුවන් සහතික කිරීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග ගිවිසුමකට එළඹියේය. පළමු අදියර ලෙස, එක්-එක් දිස්ත්‍රික්කයෙන් අවම වශයෙන් කම්කරුවන් 100 ක් හෝ සිය කුසලතා සඳහා පිළිගැනුමට ලක්වනු ඇත.

    EU-SDDP වැඩසටහන යටතේ UNOPS ජාතික වෘත්තීය සුදුසුකම් ලබා දෙමින් එම දිස්ත්‍රික්ක තුළ කුසලතාපූර්ණ කම්කරු බලකායක් බිහි කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග එක්ව වැඩසටහන් ක්‍රියාවට නංවයි. UNOPS කණ්ඩායම් තුළ සිටින ඉංජිනේරු ශිල්පීහු මඩකලපුව, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල UNOPS වැඩ භූමි තුළ රැකියා පුහුණුව සඳහා අවස්ථා ලබා දෙමින් එම දිස්ත්‍රික්කවල කම්කරු ජනතාවගේ කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරති. පුහුණු සැසි සඳහා දායකත්වය ලබා දෙන ඉංජිනේරු ශිල්පීන් ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පවත්වනු ලබන ඇගයුම් සඳහා එම කම්කරු ජනතාව මනාව සූදානම් කරවීම වෙනුවෙන් කැප වෙයි. ඉහත දිස්ත්‍රික්ක තුන තුළ මෙම අවස්ථාවෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා UNOPS ආයතනය මගින් EU-SDDP වැඩසටහන යටතේ කටයුතු කරන කොන්ත්‍රාත්කරුවන්ගෙන් කම්කරුවන් 100 දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇත. එසේ හඳුනා ගත් කම්කරුවන් 100 දෙනා අතරින් 45 දෙනෙකු (වවුනියාව දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු සහ මන්නාරම දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙකු) ඇගයුමට ලක් කර ඇත. මෙලෙස ලැබෙන ජාතික වෘත්තීය සුදුසුකම් යනු ඔවුන්ගේ වෘත්තීය සඳහා හිමිවන පළමු විධිමත් පිළිගැනීමවන අතර, අනාගතයේදී එය විවිධාකාරයෙන් ඔවුන් හට සහයෝගය ලබා දෙනු ඇත.

    මීට සමගාමීව, වවුනියාවේ UNOPS ආයතනයේ සාමාජිකයෝ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් යුතුව, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පුහුණු සැසි සඳහා සහයෝගය ලබා දෙති. UNOPS ආයතනය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් යුතුව වවුනියාවේ තාක්ෂණ විද්‍යාලයේදී පවත්වනු ලබන ඉදිකිරීම් පරිපාලන පාඨමාලාව හදාරන සිසුන් හට වැඩ බිම්වලදී රැකියා ආරක්ෂණය සහ සෞඛ්‍යය (OSH) පිළිබඳ කුසලතා සංවර්ධනය සඳහා කටයුතු කරයි. ඉදිකිරීම් වැඩ බිම් UNOPS ආයතනය මගින් කළමනාකරණය කෙරෙන බැවින් ඉදිකිරීම් පරිපාලකවරුන් හට මූලික අත්දැකීමක් ලබා ගැනීමට එම වැඩ බිම් මනා රුකුලක්වන අතර, ඉහත දිස්ත්‍රික්ක තුන තුළින් එවැනි ආධුනිකයන් හට අවශ්‍ය උපකාර ලබා දීම සඳහා UNOPS ආයතනය සැදී පැහැදී සිටියි. UNOPS ආයතනය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව ක්‍රියාත්මක කරනු ලබන පුහුණු සැසි එම ක්ෂේත්‍රවල වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබේ.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු සැසිවලට අමතරව, UNOPS ආයතනය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය වවුනියාව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා හමුදාවේත්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේත් සහයෝගයෙන් යුතුව, පුනරුත්ථාපනයවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 50 දෙනෙකු හට මුදල් සහ පවුලේ මුල්‍ය කටයුතු කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වීය. පුහුණුව ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිය පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මසදී සමාජගත කෙරිණි. තමන් සමාජයට එක් වූ පසු එදිනෙදා ජීවිතය ගත කිරීමේදී මුල්‍ය කළමනාකරණය බෙහෙවින් වැදගත්වන බැවින් මොවුහු පුහුණු සැසි සඳහා විශේෂ උනන්දුවක් පෙන්නුම් කළහ.

    EU-SDDP වැඩසටහන යටතේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය මන්නාරම, වවුනියාව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල 5,000 කට අධික ජනතාවකට සෘජුව ප්‍රතිලාභ හිමි කර දෙමින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සඳහා කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් කටයුතු කරයි. UNOPS ආයතනය මඩකලපුව, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල 400,000 කට අධික ජනතාවකට ප්‍රතිලාභ හිමි කර දෙමින් එම දිස්ත්‍රික්කවල ඉදිකිරීම් කටයුතුවලට සහ සමාජ යටිතල පහසුකම් පුනරුත්ථාපනයට මෙන්ම සුවිශේෂී ශක්‍යතා සංවර්ධනට ද දායකත්වය ලබා දෙයි.