Exclusive- ජපන් සමාගමකින් මෙරට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

    September, 9, 2014

    ආසියාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන ජපානයේ Daiwa Securities සමාගම මෙරට භාණ්ඩාගාර බැඳුම්කරවල (Treasury Bond) ඩොලර් බිලියනයක පමණ දැවැන්ත ආයෝජනයක් කිරීමට සූදානම් වනබව අනාවරණය වේ.

    අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පැවසුවේ මෙම ආයෝජනය ලබන මාර්තු පමණ වනවිට සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා Daiwa Securities සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් කණ්ඩායමක් පසුගිය මැයි මාසයේදී ලංකාවේ සංචාරය කළ අතර ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී, නාලක ගොඩහේවා මහතා සමගද සාකච්ඡා පැවැත්වීය.

    Daiwa Securities සමාගම ජපානයේ දෙවැනියට විශාලතම සුරැකුම් තැරැව්කාර සමාගම (Securities Brokerage) වන අතර ටෝකියෝ නුවර පදනම් කරගත් මෙය ආරම්භ කර තිබෙන්නේ 1943 වසරේදීයි.

    කරන්නාගොඩ මහතා පැවසුවේ මේ ආකාරයෙන්ම ජපානයේ Bansei Securities සමාගම පසුගිය කාලයේදී ලංකාවේ ඩොලර් මිලියන 200 ක් පමණ ආයෝජනය කළ බවයි.

    භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) මිලදී ගැනීමට, හෝටලයක් මිලදී ගැනීමට සහ පෑන් ඒෂියා බැංකුවේ සියයට 15 ක පමණ කොටස් මිලදී ගැනීමට මෙම මුදල් Bansei Securities සමාගම මෙරට ආයෝජනය කර ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.