EXCLUSIVE -පොරොන්දු වූ සියළුම සහන දෙනවා. 2015 අයවැය අහෝසි කරන්නෙ නෑ -රවී කරුණානායක

    January, 16, 2015

    පසුගිය රජය විසින් ඉදිරිපත් කළ 2015 අයවැය අහෝසි නොකරන බවත් එහි තිබෙන වැරදි ආදායම් හා වියදම් ඇස්තමේන්තු වෙනස් කර එයට සංශෝධන ඉදිරිපත් කරමින් ඉදිරියට රැගෙන යන බවත් වත්මන් රජයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

    ඔහු සඳහන් කළේ නව රජය විසින් ලබන 29 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු පොරොන්දු වූ සියළුම සහන ලබාදෙන බවයි.

    මෙම වැටුප් වැඩිකිරීම සිදුකරන්නේ 2015 අයවැය මගින් පසුගිය රජය විසින් රජයේ සේවකයින්ට කළ වැටුප් වැඩිවීමට අමතරවදැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව අදහසක් පළ කිරීමට තවමත් කල් වැඩි බවයි.

    ලංකාවේ රාජ්‍ය ආදායම් දිගින් දිගටම පහළ යමින් තිබියදී මෙවැනි සහන මල්ලක් ලබාදීම මගින් අයවැය හිඟය වැඩිවීම, උද්ධමනය වැඩිවීම වැනි අහිතර ආර්ථික තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් තිබෙනවා නේදැයි අප නැගූ පැනයට පිළිතුරු දෙමින් හෙතෙම පැවසුවේ වංචා හා දූෂණ නතර කිරීම මෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකිරීම මගින් ආර්ථිකයට කිසිදු අහිතකර බලපෑමක් නොවී මෙම පොරොන්දු ඉටු කිරීමේ හැකියාව තිබෙන බවයි.

    ආර්ථිකයේ ස්ථායීතාවයට මේ නිසා හානියක් නොවන්නේ යැයි තමන් සහතික වන බවද කරුණානායක මහතා කීය.

    පොලී අනුපාතය සියයට 10 කට අඩුවෙන් පවත්වාගෙන යමින් දෙස් විදෙස් ආයෝජන වැඩි කිරීමට නව රජය කැපවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.