April, 21, 2015
පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය වේ.
මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.
ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.
යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.
අප වෙත අනාවරණය වන ආකාරයට ලබන ජුනි මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි.
යුරෝපා කොමිසම විසින් ඉල්ලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යන ආකාරය පිළිබඳව සෑම සතියකම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාලෝචනයක් මේ වනවිට සිදුකරයි.
Video Story