January, 6, 2025
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි. ජනවාරි 4 සිට 6 දක්වා පවත්වන ලද මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දීප්තිමත් බව සහ විවිධත්වය මැනවින් ලොවට විදහා දැක්වූ සුවිශේෂී අවස්ථාවක් විය.
FACETS Sri Lanka 2025 හි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා සහභාගි වූ අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරු, කර්මාන්ත නායකයන් සහ ජාත්‍යන්තර නියෝජිතවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක් වී සිටියහ.එමෙන්ම පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණ සිටි ප්‍රසිද්ධ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
මැණික් නිෂ්පාදන සඳහා වඩාත් ප්‍රචලිත රත්නපුර, බේරුවල, ගාල්ල, ඇහැලියගොඩ සහ කොළඹ වැනි ප්‍රදේශයන්හි දේශීය මැණික් කර්මාන්තකරුවන් කෙරෙහි FACETS Sri Lanka 2025 දී වැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මැණික් පාරාදීසය ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වීම කෙරෙහි ඔවුන්ගේ අද්විතීය ශිල්පීය හැකියාවන් සහ නිර්මාණශිලීත්වය දැවැන්ත මෙහෙවරක් ඉටු කර තිබේ. දේශීය ශිල්පීන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් , අපනයනකරුවන් සහ ආයෝජකයන් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම කෙරෙහි මෙම වේදිකාව මනා පිටිවහලක් වන අතර ඩොලර් බිලියන 1 ඉක්මවූ අපනයන ආදායමක් ලබාගැනීමේ අනාගත දැක්ම සාර්ථක කර ගැනීම කෙරෙහි එය බෙහෙවින් ඉවහල් වේ.
FACETS Sri Lanka 2025 යනු අද්විතීය මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ උරුමය ලොවට විදහා දක්වන සුවිශේෂී සැමරුමක් වන අතර එය කර්මාන්තයේ නවෝත්පාදනය සඳහා මනා අභිප්‍රේරණයක් ද සපයයි.මෙම වසරේ ප්‍රදර්ශනය සුවිශේෂී සිදුවීම් රැසකින් සමන්විත විය.
එනම්, කර්මාන්තයේ ජයග්‍රහකයන් පිළිබඳ දීප්තිමත් සැමරුමක් වන 'Sapphire Night gala', කර්මාන්තයේ නියැළී සිටින කාන්තා trailblazers වෙනුවෙන් සංවිධානය කරන ලද 'The Gems of Influence Power Breakfast', ශ්‍රී ලංකාවේ මැණික් කැණීම් කටයුතු පිළිබඳ සුවිශේෂී අත්දැකීමක් පිරිනමන 'පතල් චාරිකාව' ,මෙරට නවීන යටිතල පහසුකම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන්ම සංවිධානය කරන ලද කොළඹ පෝට් සිටි සංචාරය මෙන්ම VIP ගොල්ෆ් තරඟාවලිය ආදී සුවිශේෂී ඉසව් කිහිපයක් ම මෙම ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්විණි.
මෙම ප්‍රදර්ශනය පිළිබඳ සිය අදහස් එකතු කරමින් FACETS Sri Lanka 2025 හි සභාපති ආමිල් සැමූන් මහතා මෙසේ සඳහන් කළේය. "FACETS Sri Lanka 2025 යනු හුදෙක් ප්‍රදර්ශනයකින් ඔබ්බට ගිය සුවිශේෂී අවස්ථාවක් වන අතර එය අපගේ පොහොසත් උරුමයන් ගෝලීය අවකාශය වෙත රැගෙන යන වේදිකාවක්. මෙම සෑම මැණික් ගලකින්ම අපේ රටේ කලාත්මක බව සහ සවිමත් බව පිළිබඳ සුවිශේෂී කතාවක් පවසන අතර මෙම ප්‍රදර්ශනය හරහා එම කථා ලෝකයට සම්බන්ධ කරමින් අපගේ කර්මාන්තයේ අනාගතය නිර්මාණය කිරීමට අවශ්‍ය නවෝත්පාදනයේ සහ සහයෝගීතාවයේ මංපෙත් සකස් කරනවා."
දේශීය සහ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළ වැඩි අවධානයක් යොමු වී ඇති වාර්ෂික ඉසව්වක් ලෙස FACETS Sri Lanka හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ අද්විතීය විචිත්රත්වය, තිරසාරභාවය සහ විවිධත්වය පිළිබඳ මෙමඟින් පිළිබිඹු කරන අතර ලොව පුරා සිටින ගැනුම්කරුවන් සහ ආයෝජකයන් මෙන්ම මැණික් කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම පාර්ශවයක්ම මේ ඔස්සේ ආකර්ෂණය කරයි.
කර්මාන්තයේ සවිමත් බව, නවෝත්පාදනය සහ ගෝලීය ආකර්ෂණය පිළිබඳ කදිම සාක්ෂියක් මෙම වසරේ FACETS Sri Lanka 2025 ඔස්සේ ලබාදෙන ලදී. කර්මාන්තයේ දිගුකාලීන පැවැත්ම සහතික කිරීමටත්, අර්ථවත් හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමටත්, ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාමේ ගෝලීය ප්‍රමුඛයා බව තවදුරටත් තහවුරු කිරීමටත් මෙම ප්‍රදර්ශනය අගනා අවස්ථාවකී.