FAO සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු සුහුරු සහ තිරසර ඉස්සන් ජලජීවී වගාව සඳහා වන ඩිජිටල් වේදිකාව ස්ථාපිත කරයි

    November, 14, 2025

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එක්ව, ජලජීවී වගා අංශය සඳහා ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය කරන ලද පළමු ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව වන ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) ස්ථාපිත කරන ලදී.

    කොරියානු ජනරජයේ සාගර හා ධීවර අමාත්‍යාංශයේ අරමුදල් මගින් FAO විසින් මෙහෙයවනු ලබන “ඵලදායී ජෛව ආරක්ෂාව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ස්මාර්ට් සහ තිරසාර ජලජීවී වගාව” නම් ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන ලද SIIS වේදිකාව, ශ්‍රී ලංකාවේ දත්ත මත පදනම් වූ, ජෛව ආරක්ෂිත සහ තිරසර ඉස්සන් වගා සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

    මෙම වේදිකාව, ඉස්සන් වගාකරුවන්, රසායනාගාර, නියාමකයින්, m¾fhaIhka සහ ප්‍රතිපත්ති සම්පාදකයින් තත්‍ය කාලීන දත්ත සහ විශ්ලේෂණ සමග සම්බන්ධ කරන ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් සපයයි. එය බිග් ඩේටා, ද්‍රව්‍යමය අන්තර්ජාලය (IoT), කෘත්‍රිම බුද්ධිය (AI) සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඒකාබද්ධ කරමින්, තීරණ ගැනීම සඳහා සහාය වීමටත්, ජලජ ජීවීන්ගේ සෞඛ්‍යය ශක්තිමත් කිරීමටත්, ආහාර සුරක්ෂිතතාව සහ හඳුනා ගැනීමේ හැකියාව සහතික කිරීමටත් කටයුතු කරයි.

    ජංගම සහ වෙබ් යන යෙදුම් දෙවර්ගයම හරහා ප්‍රවේශ විය හැකි SIIS මගින්, ගොවිපොළ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමටත්, ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ පරාමිතීන් වාර්තා කිරීමටත්, රෝග වාර්තා කිරීමටත්, ස්වයංක්‍රීය දැනුම්දීම් සහ උපදෙස් ලබා ගැනීමටත් පරිශීලකයින්ට අවස්ථාව ලබාදෙයි. මෙම වේදිකාව ජලජීවී වගා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික මට්ටමේ දෘශ්‍යතාවක් ද ක්‍රියාත්මක කරයි. එය නැඟී එන අවදානම් සම්බන්ධයෙන් ප්‍රගාමී කළමනාකරණයට සහ සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිචාර දැක්වීමකට අවස්ථාව ලබාදෙයි.

    “මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ ජලජීවී වගා කර්මාන්තය නවීකරණය කිරීමේ අපගේ ප්‍රයත්නයේ පරිවර්තනීය පියවරක් ලෙස සැලකිය හැකියි,” යනුවෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. “ඩිජිටල් සහ ජෛව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන්, අපගේ ගොවීන්ට පාඩු අවම කර ගැනීමටත්, ඵලදායිතාව ඉහළ නංවා ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළවල්හි වඩාත් ඵලදායී ලෙස තරඟ කිරීමටත් හැකියාව ලැබේ. ඔරොත්තු දෙන, තිරසර සහ අපනයනයට සූදානම් ඉස්සන් කර්මාන්තයක් සඳහා SIIS මඟින් ශක්තිමත් පදනමක් සකස් කරනු ඇත.”

    ඩිජිටල් බලපත්‍රකරණය, GIS මත පදනම් වූ සිතියම්ගතකරණය සහ හඳුනා ගැනීමේ හැකියාව වැනි විශේෂාංග හරහා SIIS මඟින් නියාමන අධීක්ෂණය වැඩි දියුණු කරයි. එය සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සැලසුම්කරණයට සහාය වන අතර, නියෝජිතායතන අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් පරිසර පද්ධතිය සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වේ.

    “මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි වීම කොරියානු ජනරජයේ ආඩම්බරයට හේතුවකි,” යනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති H.E. මියොන් ලී මහත්මිය පැවසුවාය. “ස්මාර්ට් ජලජීවී වගා ව්‍යාපෘතිය හරහා, තිරසර ජලජීවී වගාව සහ ග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීමට උපකාරී වීම සම්බන්ධයෙන් ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කොරියාවේ අත්දැකීම් බෙදා ගැනීමට අපි අපේක්ෂා කරමු. තාක්ෂණය මගින් ගොවීන්ට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය සහ ජාතික ආහාර සුරක්ෂිතතාවට දායක විය හැකි ආකාරය SIIS විසින් පෙන්වා දෙනු ලැබේ.”

    මෙම ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකාවේ ජලජීවී වගා පාලන රාමුව ශක්තිමත් කිරීම සඳහා ධාරිතා සංවර්ධනයේ, ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ සහ ගොවිපොළ තුළ ජෛව ආරක්ෂාවේ වැදගත්කම අවධාරණය කරයි. මෙම වේදිකාව ඵලදායීව භාවිතා කිරීම සහ දත්ත මත පදනම් වූ කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ගොවීන්, පර්යේෂණ ආයතන සහ රජයේ ආයතන අඛණ්ඩ පුහුණුවක් ලබනු ඇත.

    “ජලජීවී වගාවේ ඩිජිටල් පරිවර්තනයට පුරෝගාමී ලෙස දායක වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට හැකි වීම ගැන FAO ආඩම්බර වේ,” යැයි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසීය. “SIIS යනු ඩිජිටල් වේදිකාවකට වඩා වැඩි දෙයකි. එය මිනිසුන්, දත්ත සහ නවෝත්පාදනයන් සම්බන්ධ කරන පරිසර පද්ධතියකි. ස්මාර්ට් තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන්, අපට ඵලදායිතාව වැඩිදියුණු කළ හැකි අතර, රෝග අවදානම් අඩු කළ හැකි වේ. එමගින් ඉස්සන් වගාව මත යැපෙන වෙරළබඩ ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කළ හැකිය.”

    ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, NAQDA, NARA, DAPH, කොරියානු ජනරජ තානාපති කාර්යාලය සහ FAO හි නියෝජිතයින්, ඉස්සන් ගොවීන්, පර්යේෂකයන් සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් SIIS පද්ධතිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වන ලදී. ශක්තිමත් පාලනයක් සහ ක්ෂේත්‍ර මට්ටමේ නියැලීම සමඟ උසස් ඩිජිටල් මෙවලම් ඒකාබද්ධ කිරීම ඔස්සේ, SIIS මඟින්, ස්මාර්ට් ජලජීවී වගාවේ සහ තිරසර ආහාර නිෂ්පාදනයේ කලාපීය නායකයෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරයි.