Fems විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, United Communities, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව “අපි කතා කරමු” වැඩසටහන  ක්‍රියාවට නංවනු ලබයි  

    July, 11, 2025

    ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා සිසු සිසුවියන් 180,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක්

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, “අපි කතා කරමු” නමින් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයිනේ පළාත් 9 හි පාසල් 180 ක සිසු සිසුවියන් 180,000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දැනුවත්  කෙරේ. ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සහ United Communities සමඟ එක්ව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයද හිමි වී ඇත.

    මේ සඳහා වන ගිවිසුමට Fems, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ United Communities විසින් 2025 ජූලි 08 දින අත්සන් තබන ලදි.

    United Communities Guarantee Ltd. යනු ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කැප වී කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය යනු මිනිසුන්ගේ පීඩාවන් සමනය කරමින් සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරමින් ඔවුන්ට අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවස්ථාව සලසා දීම සඳහා කැප වුණු සංවිධානයකි. මෙම සංවිධාන දෙක මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍ය දැනුම පුළුල් කිරීම සඳහා Fems දරන උත්සාහයන් ශක්තිමත් කිරීමට දායක වනු ඇත. මෙම වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා මෙම සංවිධාන දෙක විසින් දැනටමත් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍ය දැනුම පුළුල් කිරීමේ උත්සාහයට තවමත් විවිධාකාර වූ බාධාවන් එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ඔසප් වන කාන්තාවන් මිලියන 4.2 ක් අතරින් මාසිකව සනීපාරක්ෂක තුවා භාවිතා කරනුයේ 30% ක් පමණි. පාසල් තුළ ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණය සම්බන්ධයෙන් WaterAid සහ UNICEF Regional Office for South Asia මගින් සිදුකරන ලද අධ්‍යයනයක් මගින් අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකික දෙමාපියන් අතරින් 60% ක්ම ඔසප් වන දිනවල තම දියණියන්ට පාසල් යාමට අවසර නොදෙන බවයි.

    2021 වසරේ සිට මේ දක්වා Fems විසින් පාසල්, වතු ආශ්‍රිත ප්‍රදේශ, බන්ධනාගාර සහ රැකියා ස්ථාන ඉලක්ක කරගනිමින් ඔසප් සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ. එමගින් ආවරණය වූ කාන්තාවන් සහ ගැහැනු දරුවන් සංඛ්‍යාව 300,000 කට අධිකය. මෙම සැසිවලදී ඔසප් සෞඛ්‍ය දැනුම සම්බන්ධ බරපතළ අඩුපාඩු පියවීම, නිසි ඔසප් සෞඛ්‍ය පුරුදු ප්‍රචලිත කිරීම සහ පාසල් නොපැමිණ සිටීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලදි. මෙම මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම නව හවුල්කාරීත්වය මහඟු පිටිවහලක් වනු ඇත.

    “ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඔවුන්ට නිසි සහයෝගය ලබාදීම හදිසි සහ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙන බව අප විශ්වාස කරනවා. මෙම හවුල්කාරීත්වය, සමාජ දුර්මත බිඳ දමමින් ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යාවන්ට ඔසප් සෞඛ්‍ය සම්බන්ධ දැනුම සහ සම්පත් ලබා දීමට Fems දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වේවි. තරුණ කාන්තාවන්ට විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කරගැනීමට හැකි වන ආකාරයට දීර්ඝකාලීන වෙනස්කම් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා. මම වැඩසටහන සෑම ශ්‍රී ලාංකික කාන්තාවකටම ස්වාධීන වෙමින් අභියෝග ජයගැනීමට අත්වැලක් වීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Hemas Consumer Brands සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සබ්‍රිනා එසුෆලි මහත්මිය පැවසුවාය.

    “අපි කතා කරමු” වැඩසටහන විශේෂයෙන් පාසල් සිසු සිසුවියන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවෙනු ඇත. එහිදී සෑම ශිෂ්‍යාවකටම අධ්‍යාපනික විස්තර සහ වවුචර් හිමි වේ. මීට අමතරව ඇතැම් පාසල්වලට නොමිලේ සනීපාරක්ෂක තුවා කට්ටලද පරිත්‍යාග කිරීමටද සැලසුම් කර ඇත. ඔසප් වීම නිසා සිසුවියන් පාසල් නොපැමිණීමේ ප්‍රවණතාව හැකි තාක් දුරකට අවම කිරීම මෙම වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණකි. දැනටමත් පාසල් සිසුවියන් අතරින් 37% කටම ඔසප් වීම නිසා මසකට දිනයක් හෝ දෙකක් පාසල වෙත පැමිණීමට නොහැකි වේ (WaterAid and UNICEFඅධ්‍යයනයට අනුව).

    පළපුරුදු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන තුළදී සිසුවියන්ට තම සිරුර පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීම සහ ඔවුන්ගේ වයසට ගැළපෙන නිවැරදි තොරතුරු ලබාදෙමින්, දැනුවත් තීරණ ගැනීමට ඔවුන්ට අත්වැලක් වීම සඳහා මූලික වශයෙන් අවධානය යොමු වනු ඇත. මෙම ගැටලු දීර්ඝ කාලයක පටන් මෙරට ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම පෞද්ගලික යහපැවැත්මට අහිතකර ලෙස බලපා තිබිණි.  එමෙන්ම මෙහිදී සිසුවියන්ට ඔසප් වීම සහ කාන්තා සෞඛ්‍යය වැනි මාතෘකා සම්බන්ධයෙන් ඇති ගැටලු සෘජුවම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වෙත යොමු කර එම ගැටලු විසඳාගත හැකි වේ. එමගින් ඔවුන්ට සුහදශීලී හා සුරක්ෂිත පසුබිමක් තුළ තම ගැටලුවලට පිළිතුරු ලබාගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

    මෙම වැඩසටහන වත්මන් තරුණ පරපුර අතර අවබෝධය වර්ධනය කරන අතරම, තම ඔසප් සෞඛ්‍යය ස්වාධීනව කළමනාකරණය කරගත හැකි ශ්‍රී ලාංකික කාන්තා පරපුරක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි Fems විශ්වාස කරයි. එමෙන්ම මෙය කාන්තාවන්ට සමාජයීය බාධාවන් බිඳ දමමින් ස්වාධීනත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් වීමට Fems දරන උත්සාහය සමග මැනැවින් සමගාමී වන වැඩසටහනක් ලෙසද හැඳින්විය හැකි වේ.

     

    ඡායාරූපය: පාසල් සිසු සිසුවියන්  සඳහා ‘අපි කතා කරමු’ නම් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සඳහා Fems, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ United Communities අතර හවුල්කාරිත්වය සනිටුහන් කළ මොහොත

    වමේ සිට දකුණට - Hemas Consumer Brands හි අලෙවි කළමනාකාරිනී සචිනි ගමගේ, Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ වැඩසටහන් ප්‍රධානී ගංගා කාරියවසම්, United Communities හි සභාපති  වෛද්‍ය සිද්ධාර්ථ නානායක්කාර සහ United Communities හි කළමනාකාරිනී - වැඩසටහන්  සමින්දි කුසල්‍යා.