Fems ඔසප් සෞඛ්‍යය පිළිබඳව විවෘත කතිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් විශේෂ බිතු සිතුවමක් විවෘත කරයි 

    January, 21, 2026

    ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛ සන්නාමයක් වන Fems පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ඔසප් සෞඛ්‍යය තේමාකොටගත් විශේෂ බිතු සිතුවම් නිර්මාණයක් විවෘත කළේය. මෙය විවෘත කරන ලද්දේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ කතිකාව සාමාන්‍ය දෙයක් බවට පත් කරමින් රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමේ දීර්ඝකාලීන උත්සාහයක ඉදිරි පියවරක් වශයෙනි.

    ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික සංසිද්ධියක් වන නමුත් එය තවමත් සමාජ තහංචි රැසකට යටත්ව පවතී. එම සමාජ තහංචි බිඳදමමින් ඔසප් සෞඛ්‍යය පිළිබඳව විවෘත සංවාදයක් ඇතිකිරීම Fems හි අරමුණ වී ඇත. මෙම නිර්මාණය ඔසප් වීම සම්බන්ධයෙන් පවතින සාවද්‍ය මත දුරු කිරීමටත්, තරුණ පරපුරට ආත්ම විශ්වාසයෙන් හා අභිමානයෙන් යුතුව ඔසප් වීම පිළිබඳව විවෘත සංවාදයකට මුලපිරීමටත් මහෝපකාරී වනු ඇතැයි Fems විශ්වාස කරයි.

    සෞන්දර්යාත්මක මෙන්ම අධ්‍යාපනික ප්‍රයත්නයක් වන මෙම දර්ශනීය බිතු සිතුවම් නිර්මාණය, පොදු අවකාශයක් සමාජයීය කතිකාවක් බවට පත්කිරීමේ ප්‍රශංසනීය පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙමඟින් අදාළ තේමාව පිළිබඳව දැනුවත් වීමට මෙන්ම විවෘතව කතිකා හා සංවාද ගොඩනංවා ගැනීමට සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරු උපදේශකවරුන් නිතැතින්ම පෙළඹෙනු ඇත.

    තරුණ පරපුර සාමාන්‍යයෙන් ස්වාධීන තීරණ ගැනීම ආරම්භ කරනුයේ උසස් අධ්‍යාපනය ලබන කාලය තුළදීය. එම කාලසීමාවේදී වඩාත් පුළුල් සමාජ පරිවර්තනයන්ට තුඩු දෙන ආකාරයට ඔවුන්ගේ ආකල්ප හැඩගැසීම සිදු වේ. Fems විසින් මෙම සමාජ මෙහෙවර සඳහා උසස් අධ්‍යාපන ආයතනයක්ම තෝරාගන්නා ලද්දේ එබැවිනි.

    ගුරුවරුන් සහ තරුණ පුරෝගාමීන් සමඟ එක්ව සිදුකරන මෙම සමාජයීය මෙහෙවර, ඔසප් සෞඛ්‍ය සංවාද සාමාන්‍යකරණය කරමින්, ආත්ම විශ්වාසය සහ අන්තර්කරණය මූලික කරගත් සංස්කෘතියක් ගොඩනැංවීම අරමුණු කරගත් Fems මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනු නිසැකය.

    විවෘත කිරීමට දින දෙකකට පෙර මෙම බිතු සිතුවම් නිර්මාණය මත තාවකාලික ආවරණයක් යොදන ලදි. මෙම බාහිර ආවරණය මඟින් ඔසප් වීම සම්බන්ධ සංස්කෘතික තහංචි, යල් පැන ගිය මිථ්‍යා මත සහ අහිතකර සමාජයීය පුරුදු ආදිය නිරූපණය වූ අතර, එය ඔසප් සෞඛ්‍යය සම්බන්ධ අභියෝග සහ දුර්මත පිළිබඳව ප්‍රබල සිහිකැඳවීමක් විය.

    නිර්මාණය විවෘත කරන දිනයේ මෙම ආවරණය ඉවත් කරන ලද අතර, එවිට බිතු සිතුවමෙහි සත්‍ය ස්වරූපය දැකගැනීමට කාටත් අවස්ථාව ලැබිණි. ඔසප් වීම සම්බන්ධ යහපත් සමාජ පණිවිඩ මෙන්ම, ව්‍යායාම, ස්වකීය යහපැවැත්ම සහ විවෘතභාවය වැනි තේමාවන් රැසක් කැටිකොටගත් එම නිර්මාණය එසැණින් බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් විය.

    විවෘත කිරීමේ උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ, නිර්මාණයේ තාවකාලික ආවරණය වෙන වෙනම කොටස් 200 ක් වශයෙන් ඉවත් කරනු ලැබීමය. මෙම සෑම කොටසකම පසුපස ඔසප් සෞඛ්‍යය සම්බන්ධ වැදගත් පණිවිඩ මුද්‍රණය කර තිබිණි. මෙය ඔසප් සෞඛ්‍ය සම්බන්ධ තහංචි බිඳ දමමින් දැනුවත්භාවය පැතිරවීමේ සාමූහික උත්සාහයක් බවට සංකේතීයව පත්කරමින්, උත්සවයට සහභාගී වූවන්ට මෙම මුද්‍රිත කොටස් සිය නිවෙස් වෙත රැගෙන යාමට අවස්ථාව ලබාදෙන ලදි. එමඟි මෙම පණිවිඩය ඉදිරියේදී සමාජය තුළද වැඩි වැඩියෙන් ව්‍යාප්ත වනු නිසැකය.

    මෙම නිර්මාණාත්මක ප්‍රයත්නය, සමාජය සවිබල ගැන්වීමේ ප්‍රශංසනීය මෙහෙවරක සංකේතීය නිරූපණයක් ලෙස හැඳින්විය හැක. මින් ඉදිරියට මෙම බිතු සිතුවම් නිර්මාණය, ඔසප් සෞඛ්‍ය යනු ලැජ්ජාවට පත් විය යුතු දෙයක් නොව විවෘතව කතාබස් කළ යුතු දෙයක් බව බොහෝ දෙනෙකුට සිහිපත් කරවමින් දීර්ඝ කාලයක් මෙම ස්ථානයෙහි පවතිනු ඇත.

    2021 වසරේ සිටම සිය HER පදනම හරහා පාසල්, විශ්ව විද්‍යාල සහ ග්‍රාමීය ප්‍රජාවන්ට අයත් තරුණියන් 300,000 කට අධික පිරිසක් දැනුවත් කරමින්, ඔසප් වීම සම්බන්ධයෙන් පවතින සමාජයීය තහංචි බිඳ දැමීම සඳහා FEMS සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. මෑතකදී ශ්‍රී ලංකාවේ ප්‍රථම Period Tracker යෙදුම වන ‘Fio by Fems’ දියත් කිරීමත් සමඟ මෙම මෙහෙවර දැන් ඩිජිටල් අවකාශයටද පිවිසී ඇත. එමඟින් විශේෂයෙන්ම නව යොවුන් දැරියන්ට සහ තරුණියන්ට ඔසප් සෞඛ්‍යය පිළිබඳව වඩාත් හොඳින් දැනුවත් වීමටත්, සිය ඔසප් වීම් පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වා ගැනීමටත් අවස්ථාව හිමි වී තිබේ.

    ආවරණය ඉවත් කිරීමෙන් පසු දිස් වූ, ඔසප් වීම සම්බන්ධ යහපත් සමාජ පණිවිඩ මෙන්ම ව්‍යායාම, ස්වකීය යහපැවැත්ම සහ විවෘතභාවය වැනි තේමාවන් කැටිකොටගත් නිත්‍ය බිතුසිතුවම් නිර්මාණය

     

    ඡායාරූපය  : ඔසප් වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින සෘණාත්මක ආකල්ප නිරූපණය කළ පිටත ආවරණය ඉවත් කරමින් සැබෑ බිතු සිතුවම් නිර්මාණය නිරාවරණය කරන වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ  සිසුවියන්